‘ත‍්‍රස්ත ප‍්‍රහාරකින් මියගිය මොහොමඩ් ඊබ්‍රහිම් දේපළ ඥාතීන්ට පවරලා‘


(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා දිනයේ  සිදුවූ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරකින් මිය ගිය මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉන්සාඩ් අහමඩ් නැමැත්තා සති කිහිපයකට පෙර තමන්ට ඇති සියලූ දේපළ දරුවන්ට හා සොහොයුරන්ට පවරා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ජාතික භික්‍ෂු පෙරමුණේ කැදවුම්කරු වටිනාපහ සෝමානන්ද හිමියෝ පැවසූහ.
 
උන්වහන්සේ මේ බව පැවසුවේ ඔහු සිට දේපළ දරුවන්ට පැවරූ බව සදහන් ලේඛන ද මාධ්‍ය හමුවේ පෙන්වමිනි.

දේපල සියල්ල පවරා දී ඇත්තේ ඔහුද මරණයට පත්වීමේ අපේක්‍ෂාවෙන් සිටි නිසා විය හැකි බව ද සෝමානන්ද හිමියෝ කීහ.
 
පුංචි බොරැල්ල, ශ්‍රී වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සෝමානන්ද හිමියෝ මේ බව සඳහන් කළහ.
 
මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉන්සාඩ් අහමඩ් නැමැත්තා වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ තිබෙන ලක්‍ෂ 450ක් වටිනා ඉඩමක් මුද්දර ගාස්තු වශයෙන් රුපියල් ලක්‍ෂ 9කට වැඩි මුදලක් ගෙවා ඉකුත් මස 29 වැනිදා තමන්ගේ දරුවන්ට ලියා ඔහුට හා තවත් අයෙකුට අයත් රුපියල් ලක්‍ෂ 100ක් පමණ වටිනා පෞද්ගලික සමාගමක කාර්යාලයක් මුද්දර ගාස්තු වශයෙන් රුපියල් දෙලක්‍ෂයකට වැඩි මුද්දර ගාස්තුවක් ගෙවා අපේ‍්‍රල් 1 වැනිදා ඔහුගේ සොහොයුරෙකුටත් පවරා තිබෙන බව උන්වහන්සේ කීහ.
 
ඔහු කොළඹ නාමල් පාරේ ඇති තමාට අයත් රුපියල් ලක්‍ෂ 500ක් පමණ වටිනා ඉඩමක් රුපියල් ලක්‍ෂ 19කට වැඩි මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවා ඉකුත් 1 වැනිදාම වෙනත් සමාගමකට පිරිනමා ඇති අතර අයත් මාතලේ පිහිටි පෞද්ගලික සමාගමක් පිහිටුවා ඇති සිය ඉඩමක් එම සමාගමට වෙත රුපියල් ලක්‍ෂ 110 ක පමණ මුදලකට පවරා තිබෙන බව ද සෝමානන්ද හිමියෝ පැවසූහ.