‘තේරීම් කාරක සභාව එන්න කිව්වට මම යන්නේ නෑ’


(අජන්ත කුමාර අගලකඩ)

අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එන ලෙස තමාට දැනුම්දීමක් කර නැති බවත්, එවැනි කැඳවීමක් කළද, තමා ඊට සහභාගී නොවන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ පැවසීය.

තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා ලෙස තමා ගෙන්වීමේ හැකියාවක් නැති බව කී ජනාධිපති සිරිසේන මහතා එසේ තිබියදී තමා කාරක සභාව හමුවට කැඳවන බව කවුරුන් හෝ කියන්නේ නම් එය විහිළුවක් බවද කීවේය.

තමා තේරීම් කාරක සභාව හමුවට කැඳවන බවට පැතිර ගිය ආරංචිය කවුරුන් හෝ මාධ්‍යයට දුන් වැරදි තොරතුරක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තනිකරම දේශපාලන නාට්‍යයක් බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මන්දිරයේ අද (26) උදේ  පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමිනි.