(අනීෂා මානගේ)
වැඩිකල් යන්න කළින් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා අපි පාරට බහිනවා. මේ ප්‍රේම ජවනිකාව සාර්ථක වෙන්නේ නෑ. දැන් ඩිවෝස් එක ෆයිල් කරලා ඉවරයි. නඩු තීන්දුව නැතත් දෙන්න හදවතින් ඩිවෝස් වෙලා ඉවරයි. කරුණාකරල මැතිවරණ කල් දාන්න පාවිච්චි කරපු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මැතිවරණයක් තියන්න. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න. ජනතාවගේ ප්‍රශ්න විසදන්න පුළුවන් ජනතාවාදී ආණ්ඩුවක් තනන්න ඒ මැතිවරණය පාවිච්චි කරනවායැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ අද (09) බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ නව මන්ත්‍රීවරුන් වැඩ භාරගත් අවස්ථාවට සහභාගී වෙමිනි.
වැඩුදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරය මෙසේද පැවසීය.
‘දැන් කමිටු දාගෙන එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න කට්ටියක් කථා වෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයලු සභාපති. අනේ පව් අර රනිල් මහත්තය අයින් කරල අලුත් අගමැති කෙනෙක් ගේන්න ඕන කියල අලුත් පක්ෂ නායකයෙක් ගේන්න ඕන කියපු අයට තමන්ගෙම පුටුව තමයි මාරු කරගන්න වෙලා තියෙන්නේ. කමිටුවේ ඉන්න අය තමයි කමිටුවේ පුටු මාරු කරන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය අනිත් පැත්තෙන් කියනවා අපිනම් යන්නේ නෑලු ඇමතිකම් දාලා. යන්න එපා කියල ජනාධිපතිතුමා කියනවලු. ඒ අයට එන්න ඕනේ. ඒ අය ඇවිල්ල විපක්ෂයේ වාඩි වෙන්න ඕන. මේ ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයට එරෙහිව විශ්වාසභංගයට ඡන්දෙ දුන්නා. විපක්ෂයේ ඇවිත් වාඩි වෙන්න ඕන. හැබැයි ජනාධිපතිතුමා කියනවා අනේ මාව දාලා යන්න එපා කියලා.
මේ තනිකර තමන්ගේ පක්ෂය ප්‍රතිපත්ති රට පාවල දීල දැන් මේ දෙන්නගේ ප්‍රශ්නේ තියෙන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න නෙවෙයි. තමන්ගේ ප්‍රේම ජවනිකාවේ දෙවෙනි අධියර පිළිබදව සාකච්ඡා කරන එක. අපි මේ ආණ්ඩුවට කියන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න.