(අජන්ත කුමාර අගලකඩ)
තැපැල් සේවක ගැටලු විසඳීමට අදාළ කැබිනට් සංදේශය ඉකුත් සිකුරාදා (19) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබුණද ඊට නිශ්චිත විසඳුමක් ලැබී නැතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර අදාළ කැබිනට් සංදේශ ඉදිරිපත් කරන ලද්දේ තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසිනි.
මුදල් ඇමැතිවරයා එදින කැබිනට් රැස්වීමට සහභාගී නොවුන බවද වාර්තා වේ.
ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයාත් එකට වාඩි වී මේ ප්‍රශ්නය විසඳිමට පියවර ගත යුතු යැයි එහිදී රාජිත සේනාරත්න පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකු එහිදී ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට ඇත. කෙසේ වූවද අදාළ ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක් එහිදී නොලැබුණු බවද වාර්තාවේ.

