මහවැලි ව්‍යාපාරය, මහපොළ ශිෂ්‍යත්වය වැනි දැවැන්ත ව්‍යාපෘති සිදුකරමින් ආසියාවේ වෙනත් රටවල් දියුණවක් ගැන හිතලවත් නැති කාලයක ශ්‍රී ලංකාවේ දියුණුවට ක්‍රියා කළ නායකයින් රැසක් සිටි එක්සත් ජාතික පක්ෂයට වර්තමානයේ මෙරට දියුණු කිරීම ඉතා පහසුවෙන් කළ හැකි බව අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා අද (11) කොළඹ 7, ගිල්ෆ්‍රඩ් ටෙරස්හි පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
තාජුඩීන් ඝාතනය ගැන කියන විට රාජපක්ෂ රෙජීමය හා හෙන්චයියන් තැති ගැන්වී ඇති බවත් මේ රටේ කිසිම තැනක වාහනයක් හැපී එය සම්පූර්ණයෙන් ගිනිගෙන පුද්ගලයකු මැරී නැතැයිද තාජුඩීන් ඝාතනය කරද්දී ඔහුට වද දෙන හඬ දුරකථනය ඔස්සේ තාජුඩීන්ගේ පෙම්වතියට ඇසීමට පවා සලස්වමින් කෘෘර ඝාතනයක් සිදු කර ඇතැයිද සේනසිංහ මහතා එහිදී කීවේය.
මෙය මිනීමැරුමක් බව මහින්ද රාජපක්ෂ මහතාද පිළිගෙන ඇති බවත් එසේ නම් කිසිදු පරීක්ෂණයක් නොකර මෙය යට ගැසීමට ක්‍රියා කළේ ඇයිදැයි ගැටළුවක් වන අතර මැතිවරණයෙන් පසු මරණයට වගකිව යුතු සියලු පාර්ශවයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් එම මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
මහින්ද රාජපක්ෂ මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මෙරට ව්‍යවස්ථාව වැඩක් නැති බව ප්‍රකාශ කිරීම රටේ විධායක ජනපති ධූරය දැරූ පුද්ගලයකු වශයෙන් කළ බරපතල වරදක් බවත් ඇය එහිදී පෙන්වා දුන්නාය.



