‘ටැටු‘ හිමිකරුගේ ගිණුමෙන් හෝඩුවාවක් ?


(ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)

ඩුබායිවල සිටින සිය මිතුරන් තමන්ගේ ටැටු ආයතනයේ භාණ්ඩ මිලදී ගැනීම සදහා සිය ගිණුමට ලක්ෂ 10ක් බැර කළ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු  පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව  මහතා  පැවසීය.

එම මුදල් මෙම පුද්ගලයාට සිය ආයතනය වෙනුවෙන් ලැබුණාද නැතහොත් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා අත්තිකාරමක් ලෙස ලැබුණාද යන්න පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේය.

එලෙස ගිණුම්ගත වූ මුදල් ලැබුණේ පාතාල නායකුගෙන් යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවද කියයි.


එසේම මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානය ආරම්භ කල පුද්ගලයා ඇතුලු වෙඩික්කරුවන්ට පලා යාමට වාහන ලබා දුන් බවට සැකපිට සිව් දෙනෙකුගෙන් සහ ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ රියදුරු සහ ආරක්ෂක නිළදාරියාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

මෙතෙක් එම වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැති බවද එම නිළධාරීයා වැඩි දුරටත් පැවසීය  .


අතුරුගිරියේ වෙඩිතැබීමට ‘ටැටු‘ හිමිකරු ඇතුළු 6කගෙන් ප්‍රකාශ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කර  තවත් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අතුරුගිරිය පොලීසිය කියයි.

 ටැටූ  මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු හය දෙනකු පොලීසියට කැඳවා මෙලෙස  ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඊයේ (8) එම ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී  මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය.

මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වුණ කංජ් පානී ඉම්රාන් විසින් සිදු කළ බවට සැකයක් මේ වන විට පවතින බවද පොලීසිය කියයි.