ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අද (13) දීර්ඝ ලිපියක් යැවීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් රටේත් සුබ සිද්ධිය වෙනුවෙන් ලබන ඡන්ද දිනය තෙක් ජාතිවාදය නොඅවුළුවන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, පක්ෂයේ අනුශාසක හා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට පිටු 5ක ලිපියක් යවමින් ඉල්ලයි.
හදවතින් නොව බුද්ධියෙන් කටයුතු කරන ලෙසද පක්ෂයේ බෙදීම් වර්ධනය වීමට ඉඩ නොතබන ලෙසද ක්‍රියා කරන ලෙස ජනපති ඔහුගෙන් ඉල්ලා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි ආසන ගණනක් දිනා ගැනීමට ඉඩ සැලසෙන්නේ එමගින් බවද ජනපති පවසයි.
‘අප දෙදෙනා අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය බිඳ දැමීමට බැසිල් රාජපක්ෂ මහතාගේ (මහින්දගේ සොයුරු) නොමනා ක්‍රියා සහ හැසිරීම්ද හේතුවූ බව ඔබද හොඳින් දන්නා කරුණකි.‘ යනුවෙන්ද ජනපති එහි කියා ඇත.
ඔබට ගෞරවාන්විත දේශපාලන පැවැත්මක් ලබාදෙනු පිණිස සුදුසු ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මම යෝජනා කළෙමි. ඔබ පවුලේ බොහෝ සාමාජිකයන් ඊට එකඟවූ බවත් මම දනිමි. එහෙත් ඒ සියල්ල ඔබ ප්‍රතික්ෂේප කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ කිසිදු ආදරයක් හෝ හැඟීමක් නොමැති එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා පමණක් අප පක්ෂය සමග සම්බන්ධකම් ගොඩනගාගෙන ඇති දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල හිරකරුවකු බවට පත්වූ හෙයින් යනුවෙන්ද ජනපති කියයි.
දේශපාලන විචාරකයන් පවසනුයේ ජනපතිගේ එම සඳහන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර වැනි අය ගැන කළ සඳහනක් බවයි.
සදාකාලික ජනපති ධූරයේ රැඳී සිටීම පිණිස ඔබ ජනතාවගේ නිදහස සහ අභිමානයත් පක්ෂයේ සහ පක්ෂය වෙනුවෙන් කැපවූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ දේශපාලන අනාගතයත් උදුරාගත් ආකාරය අවිචාරවත් යැයිද එහි සඳහන්ය.






