(නිමල කොඩිතුවක්කු)
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් හා බලධාරීන් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගැනීම සහ ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය පිළිබඳ සැබෑ කරුණු තේරීම් කාරක සභාව මගින් රටට හෙළි වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා කොළඹදී පැවැසීය.
නිලධාරීන්ගේ හා දේශපාලන බලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහ නොසැලකිල්ල රටට හෙළිදරව් වෙයි කියා බියට ඇතැම් පිරිස් තේරීම් කාරක සභාව වර්ජනය කරමින් සිටින බවත් පැවසූ මන්ත‍්‍රීවරයා මෙහි සැබෑ තත්වය දැන ගැනීම අනාගතයේදී ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට තවත් ශක්තියක් වනු ඇති බවත් සදහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේදී අද(31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙසේද කීය.
‘‘අපි මේ අදහස් දක්වන්නේ තේරිම් කාරක සභාව විදියට නෙමෙයි. මේ පළ කරන්නේ අපේ පෞද්ගලික අදහස්. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ තේරීම් කාරක සභාව සහ එය මාධ්‍යයට විවෘත කිරීම ගැන නොයෙකුත් ප‍්‍රකාශ සිදුකරමින් පවතිනවා.
තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීම හොද අවස්ථාවක්. ඒ වගේම බරපතල අභියෝගයක්. මොකද අපිට එවැනි පාර්ලිමේන්තු කමිටු විකාශනය කිරීම පිළබඳව අත්දැකිම් නැහැ. නමුත් ලෝකයේ මෙවැනි ප‍්‍රවානතාවයක් අද තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ආරක්ෂක කමිටු මාධ්‍යයට විවෘත කර තිබෙනවා.
අපේ කටයුතු සදහා අපි නිර්නායකයක් හැටියට ගත්තේ තොරතුරු ලබාගැනීමේ පනතයි. මෙතනදි අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටියා වගකීමෙන් යුතුව කටයුතු කරන්න කියළා. තේරීම් කාරක සභාවට විෂය වී ඇති සමහර කාරණා ඉතාම සංවේදී බව අපි දන්නවා.
මේ තේරීම් කාරක සභාවට මුලින්ම සාක්ෂි දුන්නේ ජාතික ආරක්ෂාව පිළිබද හොදින් දන්න පළපුරුදු සාක්ෂිකරුවන් දෙදෙනෙකු වන ආරක්ෂක ලේකම්වරයා සහ බුද්ධි අංශ ප‍්‍රධානියායි. ඔවුන්ට අපි බොහොම පහැදිලිව කියා සිටියා ජාතික ආරක්ෂාවට අගතියක් වනවා කියලා හිතනවනම් යම් දෙයක් ඒක ප‍්‍රකාශ කරන්න එපා කියළා.
මෙතනදි ආරක්ෂක ලේකම්වරයා අවස්ථා ගණනකදී කිව්වා මම වෙනම කියන්නම් කියලා. ඒ වෙනම කියන්නම් කියපු කාරණා ගැන අපි ඒ වෙලාවේ ප‍්‍රශ්න කලේ නැහැ. අපිට අවශ්‍යනම් අපි ඒ ගැන මාධ්‍ය නැතුව පසුව ප‍්‍රශ්න කරනවා" යැයි ඒ මහතා පැවසීය.

