‘ජවිපෙ මෙවර විශිෂ්ට ජයක් ලබනවා‘


මෙවර මහා මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ අති විශිෂ්ට විප්ලවීය ජයග්‍රහණයක් ලබන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි. ඒ මහතා ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකට එක්වෙමින් එසේ පැවසිය.

ප්‍රශ්නය,  මෙවර ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුව පිළිබඳව ඔබේ මතය කුමක්ද?

පිළිතුර,   කුඩුකාරයෝ, එනතොල් කාරයෝ, මහජන දේපල කොල්ලකාපු අය නැති  වෙලේ සුදාලා, ටැංකි සුදාලා, බැංකු සුදාලා නැති එකම අපේක්ෂක ලැයිස්තුව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුව විතරයි. අපේ අයට විරුද්ධව මහජන පැමිණිලි නැහැ. පොලිස් පොත්වල අධිකරණ පොත්වල නම් ලියවිලා නැහැ.

ප්‍රශ්නය,  ජයග්‍රහණයේ ප්‍රතිඵල කොහොම වෙයිද?

පිළිතුර,   මහජනතාව දැන් කියන්නේ කුඩුකාරයෝ, එනතොල් කාරයෝ දුෂිතයෝ පාර්ලිමේන්තු යවන්නේ නැහැ කියලයි. ඔවුන්ට ඒ තරමටම ලංකාවේ දේශපාලනය ගැන කලකිරිලා. එහෙනම් ඔවුන්ට තෝරාගන්න තියෙන විකල්පය මොකක්ද? ඒ ජනතා විමුක්ති පෙරමුණයි. අපේ අපේක්ෂකයින් සියලු දෙනාම බුද්ධිමතුන්, සමාජ හිතකාමීන්, විනය ගරුක අය. ඒ අතින් බලනකොට මේ මැතිවරණයෙන් විශිෂ්ට විප්ලවීය ජයක් අපි ලබනවා.

ප්‍රශ්නය,  ලංකාවේ පොරොන්දු කඩකරන  දේශපාලනය ගැන මොකද කියන්නේ?

පිළිතුර,  එක්කෝ ඡන්ද දායකයින් වෙනස් විය යුතුයි. නැත්නම් පක්ෂ වෙනස් වියයුතුයි. මේ හොරු,  කුඩුකාරයෝ, ක්ලබ් කාරයෝ, තැබෑරුම් කාරයෝ ගැන ජනතාව මෙයටත් වඩා අවදිවිය යුතුයි. ජනතාව වෙනස් වෙලා කියලා දැන් අපිට හිතෙනවා. ඒ වෙනස් වීම සිදු වුනේ පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සෙයි. මෛත්‍රිපාල මහත්තයත්, රනිල් වික්‍රමසිංහ මහත්තයත් කිව්වේ කුඩුකාරයින්ට, එතනෝල් කාරයින්ට මහජන දේපල කොල්ල කාපු අයට නාමයෝජනා දෙන්නේ නැහැ කියලා. ඒ වගේ අයගෙන් තමයි ඒ නාමයෝජනා පිරිලා තියෙන්නේ. වැදගත් දේශපාලකයින් අතලොස්සක් ඒ අතර ඇති වැඩිපුරම ඉන්නේ රටට වින කරන අර වගේ මදාවියෝ.

ප්‍රශ්නය,  පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් ලංකාවේ විද්වතුන් කලාකරුවන් ආගමික නායකයින් විශාල කාර්යභාරයක් කළා. ඔබේ පක්ෂයත් අනියමින් එම ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණා. නමුත් දැන් ඒ විද්වතුන් කලාකරුවන් ආගමික නායකයින් විශාල කලකිරීමකට ලක්වෙලා. ඉදිරි මැතිවරණයේදී ඔවුන් සියලු දෙනාගේ කාර්යභාරය කුමක් වෙයිද?

පිළිතුර, ඔවුන්ගේ කලකිරීමට හේතුව අහන්න ඕනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගෙන්. හැබැයි මේ වනවිට ඒ විද්වතුන් කලාකරුන් ආගමික නායකයින්ගෙන් අති බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසුදු ආදර්ශමත් දේශපාලනයත් එක්ක ඉදිරි ගමනක් යන්න සුදානමින් ඉන්නේ. කැපකිරීමෙන් අපි රටට යමක් දෙනවා. කුඩුකාරයින් එතනෝල් කාරයින් මහජන දේපල සුරා කාපු අර සුදාලා මේ සුදාලා ලාංකීය දේශපාලන භූමියෙන් අතුගාලා දාන්න ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වෙනවා. අපේ ජයග්‍රහණයේ මාවත විවර කරන්නේ හැමදාම බොරුකාරයින්ගෙන් රැවටුණු මේ රටේ දුක්විදින අහිංසක ජනතාවයි.