(විනීතා එම් ගමගේ)
ජල පනතක් ගෙන එන්නට කටයුතු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ජල මූලාශ්‍ර, ඒවායේ සංවිධිත බව, එහි අයිතිය වගකීම වැනි කරුණුවල දී ජලය සම්බන්ධ නීතියක අවශ්‍යතාව පැන නගින බැවින් ජල පනතක් ගෙන එන්නට අවශ්‍ය බව හෙතෙම කියා සිටියේය.
නව පනත උල්ලංඝනය කළ හොත් නීතිමය පියවර ගත හැකි පරිදි නව පනත ගෙන එන බවත් එය කිසිසේත්ම ජනතාවට පීඩාවක් බවට පත්වන පනතක් නොවන බවට සහතික වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජලය සීමිත සම්පතක් වන බවත් එය ජනතා අයිතියක් බවත් කී නානායක්කාර මහතා සීමිත පිරිසක් එහි ප්‍රතිලාභ ගැනීම වලක්වා සියලු දෙනාට ජලය ලබාගැනීමට ඇති අයිතිය ජල පනතකින් තහවුරු කරන බව ද කියා සිටියේය.
වාසුදේව නානායක්කාර මහතා මේ බව කියා සිටියේ ජල සම්පාදන අමාත්‍යංශයේ අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි වසර පහ අවසන් වන විට සියලු දෙනාට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩ පිළිවෙලක් යටතේ මෙම ජල පනත ද ගෙන එන බවය.
තැන් තැන්වල සිදුවන භූගත ජලය ලබා ගැනීම වැරදි බවත් මතුපිට ජල තලයේ ජලය රඳා පවතින්නට නම් භූගත ජලයේ මට්ටම යහපත් විය යුතු බවත් කී අමාත්‍යවරයා ජල සංරක්ෂණය හා උත්පාදනය සිදුකළ යුතුව ඇතැයි ද කීය.
ජලයේ ඉපැයීමක් නැතිවම සැපයීම සිදුවන්නේ යැයි ද ඒ පිළිබඳ පර්යේෂණ සිදුව නැතැයි ද කී නානායක්කාර මහතා අහසින් වැටෙන ජලය මුහුදට යා නොදී යළි භූගත කිරීමට කටයුතු කළ යුතු බව ද එවිට මතුපිට ජල මට්ටම තබා ගත හැකි බව ද කියා සිටියේය.
නව ජල යෝජනා ක්‍රම පහක් ක්‍රියාත්මක කරන බවත් දිනපතා ඇතිවන නව ජල අවශ්‍යතා සඳහා එම යෝජනා ක්‍රම තුළින් විසඳුම් ගෙන එනු හැකි වන බවත් ඔහු සඳහන් කළේය.
එම නව ජල යෝජනා ක්‍රම වන්නේ පට්ටියවිල , මන්නාරම, කටාන, දැදුරුඔය හා මාතලේ යන ජල යෝජනා ක්‍රම යැයි ද එයින් පවුල් තුන් ලක්ෂ දස දහසකට අධික පිරිසකට ජල සම්බන්ධතා ලබා දිය හැකි වන්නේ යැයි ද නානායක්කාර මහතා පැවැසීය.

