‘ජපානයේ ආපදාවලින් ලාංකිකයන්ට හානියක් නෑ’



 
(තිළිණි ද සිල්වා)
 
නිරිතදිග ජපානයේ ඇති වී තිබෙන ජල ගැලීම් හා නායයාම් ඇතුළු ආපදා වලින්  ශ‍්‍රී ලාංකිකයන්ට හානියක් සිදුවූ බවට තොරතුරු කිසිවක් වාර්තා වී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.


ටෝකියෝ නුවර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කළ විමසීම් වලදී  ජපාන බලධාරීන් මේ බව තහවුරු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ ඔස්සේ නිවේදනය කර තිබිණි.


පළාත් රාජ්‍ය නිලධාරීන් ඇතුළු අදාළ බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමීපව කටයුතු කරමින් සිටින බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


ජපානයේ ජල ගැලීම්වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 100 ඉක්මවා ඇති අතර, 50 දෙනෙකු පමණ අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 


එරට නිරිත දිග ප‍්‍රදේශයේ ගංඟා කිහිපයක් පිටාර යාමත් සමඟ මිලියන 2කට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව සඳහන් වේ. ජපාන ජල ගැලීමෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ හිරෝෂිමා ප‍්‍රදේශයටයි.