‘ජනාධිපතිවරණය කල්දැමීමේ රජයේ උවමනාවට මැකෝත් උදව් කරනවා’


(නාලක සංජීව දහනයක)
 
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර ඇති ප‍්‍රකාශයෙන් වැටහෙන්නේ ජනාධිපතිවරණය කල්දැමීමේ රජයේ උවමනාවට ඔහුත් උදව් කරන බව යැයි මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) පැවැසීය.

පවතින තත්වය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බැවින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පුංචි බොරුකාරයාගේ චරිතය රඟපාන බවද ඔහු කීය.
 
අප රට විනාශයට ඇදී යද්දි අපි දියුණු රටවල් දෙස බලමින් සුසුම් හෙළන බවට ජනාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශයෙන්ම වත්මන් ආණ්ඩුව යටතේ රටට සිදුව ඇති විපත්තිය පිළිබඳව ජනතාවට චිත‍්‍රයක් මවාගත හැකි බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා තමන්ගේ පාලන කාලය පිළිබඳව දැන්වත් ජනාධිපතිවරයාට අවබෝධයක් ලැබීම ගැන සතුටට පත්වන බවද කීය. වත්මන් පාලනය රටට සෑම අතින්ම හානිදායක බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා ඉතාම ඉක්මණින් මැතිවරණයක් ලබාගෙන ජනතාවාදී පාලන ක‍්‍රමයක් බිහිකරගත යුතු යැයිද කීය.
 
පසුගිය ආණ්ඩුව යටතේ රට කෘෂිකර්මාන්තයේන සශ්‍රීකව තිබූ බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා එහෙත් යහපාලන ආණ්ඩුව යටතේ කෘෂිකර්මාන්තයේ සියලු අංශ කඩා වැටී තිබෙන බව කීය. මේ වනවිට තේ, ගම්මිරිස්, කුරුඳු වැනි වගාවලින් ගොවීන් ඉවත්වෙමින් සිටින බවත් මෙම තත්ත්වය වළක්වා ගෙන ගොවීන්ට සහන ලබාදීම සඳහා රජය ඉක්මණින් මැදිහත්විය යුතු බව මන්ත‍්‍රීවරයා පැවැසීය.
 
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී  අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.