‘ජනබලයට එන අයට ගමනාගමන පහසුකම් අත්හිටුවීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි’


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

ඒකාබද්ධය මෙහෙයවීමෙන් කොළඹ නගරයේදී හෙට (5) පැවැත්වෙන ජන බලය උද්ඝෝෂණයට සහභාගිවීමට නියමිත ජනතාවගේ ගමනා ගමන පහසුකම් අත්හිටුවීමට රජය ගෙන ඇති ක්‍රියා මාර්ගය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය.

පෞද්ගලික බස් රථ වෙන් කර ගැනීම සඳහා ජනතාවට තිබෙන මූලික අයිතිය අහිමි කිරීමට රජය ගෙන ඇති එම තීරණය ඉවත් කිරීමට කටයුතු කරන්නේ දැයි ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් නගමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේය.

ගුණවර්ධන මහතා මෙසේද කීය.

    ‘‘සැප්තැම්බර් 1 වැනිදා සිට සතියක කාලයක් පෞද්ගලික බස් රථ මහජනතාවට වෙන් කර ගැනීම අත් හිටුවීමට ආණ්ඩුව ගෙන ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා මාර්ගය වැරදි බව පිළිගන්නවාද.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි හා ජනතා විරෝධි ක්‍රියාවන්ට එරෙහිව සාමකාමී අවිහිංසාවාදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ජනතාව හෙට කොළඹ නගරයට එනවා.ඒ එන අයට ප්‍රවාහන පහසුකම් නැති කිරීමට රජය ගෙන ඇති තීරණය වහා ඉවත් කිරීමට කටයුතු කරන්න.

රැස්වීම් පැවැත්වීමට පවා ක්‍රීඩා පිට්ටනියක් දෙන්නේ නෑ.අපේ මන්ත්‍රීවරු ඉල්ලා තිබූ ක්‍රීඩා පිටි අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.‘‘