(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ කටයුත්ත නතර කරන්නට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අම්පාරේදී අද (07) පැවැසීය.
ඒ සම්බන්ධයෙන් ජනතා සහාය පෙන්වීම සඳහා පාරට බැස ජනතාව සමඟ උත්ඝෝෂණය කර ඉඩම් අයිතිය අවශ්‍යවන බවට වන පණිවිඩය රටට දෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ පනත් කෙටුම්පත සකසා කැබිනට් අනුමැතිය ගැනීමට වසර දෙකක් ගතවූ බව කී අග්‍රාමාත්‍යවරයා දැන් ඒ පනත අනුමත කොට ගැසට් මගින් ප්‍රකාශ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළේය.
ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහනේ අම්පාර දිස්ත්‍රික් උත්සවයට සහභාගී වෙමින් මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
“සංවිධාන දෙකක් ඔබට සින්නක්කර අයිතිය ලබා දීමට විරුද්ධව කටයුතු කර තිබෙනවා. මේ පිරිස කව්ද? මේ මොන සංවිධානද? ප්‍රතිගාමී බලවේග ජනතාවට ඉඩම් අයිතිය දීමට අකමැති අය සිටිනවා.
දැන් මේ ඉඩම් අයිතිය නතර කරන්නට නඩු කියන්න හදනවාලු. මේ සටන අත්හරින්න බැහැ. අප දුරක් පැමිණ තිබෙනවා. ගිය වාරයේත් මෙවැනි කෙටුම්පතක් ඉදිරිපත් කළ විට නොයෙක් ආකාරයට කටයුතු කළා. එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනපති ලෙසත් අප ආණ්ඩුව ලෙසත් කටයුතු කළා. එතැනින් විවිධ දේ ගෙනාවා. මහ ඇමතිවරු ගෙනාවා. මේ කටයුත්ත නතර කරන්න ක්‍රියා කළා. එහෙත් මෙවර එය නතර කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙම වැඩවසම් ආකල්ප වලට ඉඩ දෙන්නේ නැහැ’’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
අම්පාර දයා ඇපරල් උත්සව ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.




(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )

