‘යහපාලනය කරේ තියාගෙන ගිහින් රාජ්‍ය බලය ලබාගත් උදවියත් ඊට උදව් කළ උදවියත් අද ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරන්නට පෙර මහා මැතිවරණයක් තියන්න කියනවා. ගෝඨාභයගේ පොලීසියෙන් ගුටි කාපු අය ජෝන්ගේ පොලීසිය ලවා විරුද්ධවාදීන්ගේ ඔළු පලන්න බලාගෙන ඡන්දෙට පස්සේ ‘පොලිස් කොමිසම‘ පත් කරමු කියනවා. මහ ඡන්දෙට නැති ‘ස්වාධීන මැතිවරණ කොමිසම ‘ ඡන්දෙන් පස්සේ කොස් කොටන්නද?‘ කියලා ඔය මහා මැතිවරණ තදියමේ දඟලන උදවිය කියන්නට ඕනෑ‘ යි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස සංගමය මගින් පැවැත්වූ ’20 වැනි සංශෝධනය යනු කුමක්ද?‘ සම්මන්ත්‍රණය අමතමින් තෙන්නකෝන් මහතා මෙසේ ද කීවේය.
‘20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරමාණු බෝම්බයක් හෙළුවා. ඒ තමයි හැමෝම එකග වුණ කේවල ආසන 160 හිතාගන්න වත් බැරි විදිහට 125 දක්වා අඩු කිරීමට යෝජනා කිරීම. ඒ විතරක් නොවෙයි, මන්ත්‍රී සංඛ්‍යාව 255 සිට 225 දක්වා අඩු කලාම මේ ක්‍රමය ක්‍රියාත්මක නොවන තත්වයකට පත් වුණා. සුලු පක්ෂ 20 ට විරෝධය පළ කළේ මේ බෝම්බයෙන් පස්සෙයි. දැන් කියනවා ‘ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරන්නේ මහ ඡන්දෙන් පස්සේලු. ඡන්දේ තියන්නේ පොලිස් කොමිසම යටතේ නොවෙයි ‘ජෝන් බාස්‘ ගේ පොලීසිය යටතේ ලූ. 20 වැනි සංශෝධනය ගැසට් කරන ගමන්ම කියනවා දැන් පාර්ලිමේන්තුව විසිරුවන්නලු. මේක තමයි දේශපාලන අවස්ථාවාදය.
වසර විස්සක් මේ රටේ ජනතාව ස්වාධීන කොමිෂන් සභා ඉල්ලා සිටියා. දැන් ඒ සදහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය සිදු වෙලා ඉවරයි. නමුත් ඒවා ස්ථාපනය කරන්නට පෙර දැන් මහ ඡන්දයක් ඉල්ලවා. මනාප ක්‍රමය අවසන් කරන්න, කොට්ඨාශ ක්‍රමයක් නැවත ගේන්න රටම ඉල්ලනවා. දැන් එය කරන්නේ නැතිව පාර්ලිමේන්තුව විසිරුවන්නට කතා කරනවා. මේ පිටුපස්සේ දේශපාලනඥයින් විතරක් නොවෙයි අවස්ථාවාදීන් රැළක් ද ඉන්නවා. 19 ව්‍යවස්ථාවෙන් දිනාගත් ජයග්‍රහණ ආපසු හරවනකම් අප බලාගෙන ඉන්නවාද? නැතිනම් අද වගේම ‘පරීක්ෂා කොට අසමත්“ පාර්ලිමේන්තුවක් නැවත පත් කර ගන්නවාද කියා නැවත සිතා බලන්නට අවශ්‍යයි.‘

