ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල රැස්වීම කුරුණෑගල මලියදේව බාලිකා විදුහල් ශ්‍රවණාගාරයේදී ඇරඹීමට පෙර චිරාගත පොල්තෙල් පහන දල්වන ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ඇරයුම් කරමින් නිවේදකයා ඇගේ නම කියද්දී හූ හඬ පැතිර ගියේය.
රැස්වීම පැය තුනක් පමණ පැවතියේය. රැස්වීම අවසානයේ කුමාරතුංග මහත්මිය නික්ම යද්දීත් යළි හූ හඬ පැතිර ගියේය.
ඇය එළියට එද්දී ඇය වටකරගත් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී පිරිසක් ඇයට තදබල ලෙස දොස් නැගූහ.
‘අපේ නියම නායකයා මහින්ද රාජපක්ෂ ඔබ යන යන තැන ඔහුට බනිනවා. ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරනවා. කඩනවා. විශ්‍රාම ගියා නම් පක්ෂය වනසන් නැතිව ගෙදරට වෙලා ඉන්න‘ යනුවෙන් ඔවුහු කියන්නට වූහ.
ඒ කිසිවකටත් කුමාරතුංග මහත්මිය පිළිතුරු නුදුන්නාය. ඇගේ ආරක්ෂකයෝ ඇය ඉවත් කරගත්හ. ඇය ඉවත්ව ගිය පසු ඇයට බැන වැදුණු පිරිසට විරුද්ධව අදහස් දැක්වූ නිකවැරටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද ප්‍රහාරයකට ලක්විය. පිරිසක් ඔහුට බැන වැදී පහර දුන්හ. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා එම කලබලය සංසිඳවීය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහත්වරු පමණක් බල මණ්ඩලය ඇමතූහ.
ඉදිරි මැතිවරණයේදී සමගියෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ජනපති හා මහලේකම් අවධාරණය කළහ. ඒ දෙදෙනා මහින්ද රාජපක්ෂ මහතා ගැන කිසිත් නොකී නමුත් ඔවුනට පසුව කථා කළ මහ ඇමැති ජයසේකර පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්ෂගේ සහාය අනිවාර්යයෙන්ම ගත යුතු බවයි.
සභාවෙන් ඊට උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. මුළු සභාවම අත්පොළසන් දෙමින් ඔහුගේ කථාව අනුමත කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාලින්ද දිසානායක, පී.බී.ඒකනායක හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රබල ලෙස හඬ නැගූහ. දෙදහසකට ආසන්න පිරිසක් මේ රැස්වීමට පැමිණ සිටියහ.
දයාසිරි ජයසේකර හා ජයරත්න හේරත් මන්ත්‍රීවරයා හෙලිකොප්ටර් යානය ළඟට ගොස් ජනපති පිළිගත්හ.

