(බිඟුන් මේනක ගමගේ)
ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් මහතා ශ්‍රීලනිප කලා වැව ආසන බල මණ්ඩල රැස්වීමේදී කළ ප්‍රකාශය මගින් අල්ලස් දීම ප්‍රසිද්ධියේම පිළිගෙන ඇතැයි ද එම නිසා ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන්නේ යැයි ද එම පළාත් සභා ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.
මහ ඇමැතිවරයා අල්ලස් ප්‍රදානය කරන බවට චෝදනා කළ ද එය ඔප්පු කිරීමට තමන් සතුව සාක්කි නොතිබුණු නමුත් තමා මුහුණුපාන දේශපාලන අර්බුදවලදී රැකියා හා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමෙන් ඒවා කළමනාකරණය කරගන්නා බව ඔහු විසින්ම ප්‍රකාශ කරනු ලැබීම නිසා මෙම පැමිණිල්ල කිරීමට තීරණය කළේ යැයි ද විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
ඌව පළාත් සභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් දෙදෙනා මහ ඇමැතිවරයාගෙන් සත පහක දෙයක් ගෙන නැතැයි කී හෙතෙම ඇමැතිවරයාගේ කතාවෙන් සමස්ත සභාවම ඉලක්ක වී ඇති නිසා ජවිපෙ මන්ත්‍රීවරුන් ගෙන ඇති අල්ලස කුමක්දැයි ඔහු ඔප්පු කළ යුතු යැයි ද අවධාරණය කර කීය.
සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා මෙම අදහස පළ කළේ තමා මුහුණ දෙන දේශපාලන අර්බුදවලදී රැකියා හෝ කොන්ත්‍රාත් ප්‍රදානය කර පළාත් සභාවේ සෙසු මන්ත්‍රීවරුන් පාලනය කරගන්නා බවට ඌව පළාත් මහ ඇමැතිවරයා කළ ප්‍රකාශය ගැන ජනතා විමුක්ති පෙරමුණේ මතය විමසීමේදී ඊට පිළිතුරක් වශයෙනි.