‘ගුරු සංගම් සභාපති සේවයෙන් පහ කළේ පළිගන්නයි‘


අවුරුදු හයකට පෙර රෝගියකු බැලීමට ඉන්දියාවට ගියැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳුදා (25) සිට ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීම නීති විරෝධී බවත්, එය දේශපාලන පළි ගැනීමත් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

ඔහු විදෙස් ගත වීම සඳහා 2009.07.16 දින විධිමත් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ බව ද,  ප්‍රියන්ත  මහතාගේ විදේශ නිවාඩු අයදුම්පත් බාර ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිසි සුදුසුකම් නැතිව අදාළ තනතුරුවලට පත් කර ඇතැයි කියමින් ප්‍රියන්ත මහතා එච්ආර්සි/ඒපී/016/2009 (එස්) අංකයෙන්  ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර තිබුණු බවත්, එම පැමිණිල්ලට පළිගැනීමක් ලෙස ඔහුගේ නිවාඩු අයදුම්පත අස්ථාන ගත කර ඇති බවත් ස්ටාලින් මහතා පවසයි.

ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට එල්ල කළ නිවාඩු අනුමත නොකර විදේශ ගත වීමේ චෝදනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් කොට මෙය ද්වේෂසහගත කටයුත්තක් බව 2013 මාර්තු අට වැනි දා නිර්දේශයක් ලබා දුන් බවත්, උතුරුමැද පළාතේ අධ්‍යාපනයේ දූෂණවලට එරෙහිව කටයුතු කිරීමේ දී පළාත් අධ්‍යාපන නිලධාරීන් මුදල් අවභාවිත කරමින් යන්නට ගිය විදේශ සංචාරයක් නැවැත්වීමට ප්‍රියන්ත මහතා 17/2012 අංකයෙන් පළාත්බද අධිකරණයේ නඩුවක් ද ගොනු කළ බවත් ස්ටාලින් මහතා කියයි.

විදේශ ගතවූවායැයි කියන සිද්ධියෙන් වසර හයකට පසු සේවයෙන් පහ කර ඇත්තේ වෘත්තිය සමිති ක්‍රියාකාරිත්වය නතර කිරීම සඳහා කළ දේශපාලන පළිගැනීමක් බවත් ඔහු සඳහන් කරයි.