‘ගාමිණී නවරත්නට සේවා දිගුව දීම වැරදිලු‘


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති   ගාමිණී නවරත්න මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එස් ඒ ඩී එම් ගුණවර්ධන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළේය.

චන්ද්‍රා ඒකනායක, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.

ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති  ගොනු කළ මෙම පෙත්සමෙන් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, අගමැති , සහ  ජාතික පොලිස් කොමිසම වගඋත්තරුකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කර තිබියදී මෙවැනි තීරණයක් ගැනීම නීතිවිරෝධී බවත්, නවරත්න මහතාට මෙම සේවා දිගුව නොදුන්නේ නම් තමාට එම තනතුර හිමිකම් ලබන බවත් පෙත්සම්කරු කියයි.