‘ගම්මිරිස් මිල ඉහළ නොදැම්මොත් සියලු ගොවීන් වීදි බසිනවා’


(ඩී.කේ.රත්න)

ගම්මිරිස් සඳහා නිසි මිලක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් සියලු ගම්මිරිස් ගොවීන් ඒකාබද්ධව කොළඹ නගරයේදී දැවන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත‍්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ එකමුතුව අද (04) බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
 
බදුල්ල දිස්ත‍්‍රික්කයේ 20,000ක පමණ ගොවි පවුල් සංඛ්‍යාවක් ගම්මිරිස් වගාවේ නියුතුව සිටින බවද, ගම්මිරිස් මිල පහතවැටීම හේතවෙන් වසර දෙකකට පමණ පෙර නෙළන ලද ගම්මිරිස් අස්වනුද අලෙවි කර ගැනීමට නොහැකිව තම නිවෙස්වලම පවතින බවද, මෙම වර්ෂයේද මේ වන විට ගම්මිරිස් අස්වනු නෙළීම ආරම්භ කර ඇතැයිද, ගම්මිරිස් අස්වනු අලවි කර ගැනීමට නොහැකිව ගොවීන් දැඩි සේ අසරණ වී ඇතැයිද බදුල්ල දිස්ත‍්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ එකමුතුවේ කැඳවුම්කරු ඉසුරුජීව බණ්ඩාර මහතා පැවසීය.
 
මෙයට වසර තුනකට පමණ පෙර වියළි ගම්මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1300ක පමණ ස්ථාවර මිලකට පැවති නමුත් මේ වනවිට වියළි ගම්මිරිස් කිලෝවක තොග මිල  රුපියල් 350 ක පමණ මුදලකට පහත වැටී ඇති බවත්, තම දරුපවුල් නඩත්තු කිරීම තබා වියදමවත් සොයා ගැනීමට නොහැකි බැවින් ගම්මිරිස් සඳහා රුපියල් 1200ක ස්ථාවර මිලක් ලබා දෙන ලෙසත්, එසේ නොවන්නේ නම් සියලූ ගම්මිරිස් ගොවීන් ඒකාබද්ධව කොළඹ නගරයේදී දැවන්ත උද්ඝෝෂණයක් කරන බවත්  ඉසුරුජීව බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

බදුල්ල දිස්ත‍්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ එකමුතුවේ ලේකම් එච්.එම්.ආරියවංශ, සභාපති ආර්. එම්. ජයරත්න යන මහත්වරුද මීට සහභාගී වූහ.