‘කොළඹ වාහන තදබදයට ආණ්ඩුවෙන් විසඳුම් නෑ‘- ගැමුණු විජේරත්න



(විනීතා එම් ගමගේ)
කොළඹ පවතින අධික වාහන තදබදයට කිසිදු විසඳුමක් සෙවීමට ආණ්ඩුව ඉකුත් වසර තුනේ දී කිසිදු පියවරක් නොගත් බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කළේය.


දැරිය නොහැකි තරම් වූ මාර්ග තදබදය කොළඹ අවට මාර්ගවල පැතිර ඇතැයි කී විජේරත්න මහතා නාගරික පෝෂක මාර්ග ධාවනය ඉතා අසීරු බව බස්රථ හිමියන් පවසන්නේ යැයි ද ප‍්‍රකාශ කළේය.  


ඉකුත් වසර තුනේ දිම මේ ප‍්‍රශ්නය විසඳනු ඇතැයි බස් හිමියන් බලා සිටි නමුත් එය සිදු නොවුයේ යැයි ද මෙකී ප‍්‍රශ්නය විසදීමට තම යෝජනා ඉදිරිපත් කළත් ඒවා පිළිබඳව සළකා නොබැලූ බවත් ඔහු පැවැසීය.  


බස් ගාස්තු වැඩිකිරීමේ ජාතික ප‍්‍රතිපත්තිය ද මේ වනවිට යල් පැන ගොස් ඇති බැවින් එයත් වහා සංශෝධනය විය යුතුයැයි කී විජේරත්න මහතා අවම වශයෙන් වසර පහෙන් පහට හෝ මේ ප‍්‍රතිපත්තිය සංශෝධනය විය යුතු බවත් එය සංශෝධනය නොවීම නිසා මේ වනවිට බස් ධාවකයින් බරපතල ගැටළුවලට මුහුණ දී සිටින බවත් කියා සිටියේය. 


මේ වනවිට මොරටුව කොළඹ බස් ධාවන වාර ගණන තුනකට සීමා වී ඇති බවත් දිනකට කිලෝමීටර් 150 ක් ධාවනය නොකල හොත් ආදායම් අහිමි වන බවද ඔහු පෙන්වා දුන්නේය.