‘කොළඹ ගොඩනගන්න ජල සැපයුම අවශ්‍යයි‘ - චම්පික


(නිමල කොඩිතුවක්කු)      

කොළඹ නගරයේ  දුප්පත් පවුල් 30,000 කට පමණ ජලය පැය 24 දීම නොලැබෙන බවත්, කොළඹ නගරය ගොඩනගනවා නම් ඒ ජලය ලබාදීමේ ශක්තිය ජලසම්පත් මණ්ඩලයට ලබාදිය යුතු බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ඉදිකළ මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පළමු අදියර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා එසේ කීවේය.

1866 ඉංග‍්‍රිසීන්ගේ කාලයේ දී කොළඹ නගරයේ ගොඩනැගූ ජල පද්ධතිය තවමත් පරිහරණය කරණ බවත්, තවත් කිලෝ මිටර් 500 ක පමණ ජලනල අවශ්‍යතාවයක්  තිබෙන බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම මළ අපවහන පද්ධතියත් ඒ අයුරින්ම පුනරුත්ථාපනය විය යුතු බවත්  කසළ කළමනාකරණය, ජල කළමනාකරණය, වැසිකිළි කැසිකිලි පහසුකම් නැතිව කොළඹ නගරය  ගොඩනැගීමට නොහැකි බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.