‘කොරෝනා වැළැක්වීමට ආයුර්වේද ඔසු නිර්දේශ කර නෑ’


(සිරංගිකා ලොකුකරවිට) 

 

කොරෝනා වයිරසය බෝවීම වැළැක්වීමට හැකියැයි පවසමින් ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකෙරෙන ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් එවැනි ප්‍රචාර සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ආයුර්වේද කොමසාරිස් සහ ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපති කේ.ඩී.ඒ.එස්.කුමාරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආයුර්වේද වෛද්‍ය සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනය කිරීම හෝ ආනයනය, අපනයනය හෝ එම ඖෂධ රෝගීන් වෙත නියම කිරීම, ලියාපදිංචි වෛද්‍යවරයකුට හැර වෙනත් කිසිම පුද්ගලයකුට සිදුකිරීමට 1961 අංක 31 දරණ ආයුර්වේද පනත අනුව නොහැකි බවයි.

එම පනතේ 69 වැනි වගන්තිය අනුව ඖෂධ ගැන සමාජ මාධ්‍යජාලා හා වෙනත් ප්‍රචාරණ මාධ්‍යයන් ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරය කිරීම වරදක් වන බව ද එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොරෝනා සුවකිරීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිතා කිරීම සඳහා මහජනතාව පෙළඹවීම හා නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකරන තැනැත්තන් සම්බන්ධයෙන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

ආයුර්වේද වෛද්‍ය සභාව පවසන්නේ කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් ඇතිවන කොරෝනා වයිරස ලක්ෂණ ඇති අයකු වාර්තා වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කර ඇති රජයේ රෝහලකට කඩිනමින් යොමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවයි.