‘කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පරාජය කරනවා’- ජවිපෙ


නාලක සංජීව දහනායක
 
මාලබේ සයිටම් ආයතනයේ සිසුන්ට සාධාරණයක් ඉටුකිරීමේ මුවාවෙන් ආණ්ඩුව ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත පරාජය කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. 
 
සයිටම් සිසුන් දඩමීමා කරගනිමින් නිදහස් අධ්‍යාපනය මුදලට විකිණීමේ ක‍්‍රියාවලිය රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ ක‍්‍රියාත්මක කිරීමට මෙම පනත මගින් ආණ්ඩුව උත්සාහ ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා අද (27) පැවසීය.
 
මිලිටරි පාලනයක් සහිත කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනාගතයේදී නිදහස් අධ්‍යාපනය මිලිටරිකරණය වනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කීය. 
 
හිටපු අගමැතිවරයකුවූ සර් ජෝන් කොතලාවල මහතා තමන්ගේ පෞද්ගලික බූදලය වූ කඳවල වලව්ව රජයට පවරා දුන්නේ ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ට අධ්‍යාපනය ලබාදීමට බවත් එම විශ්ව විද්‍යලයේ සයිටම් සිසුන්ට අධ්‍යාපනය ලබාදීම කොතලාවල අගමැතිවරයාට අපහාස කිරීමක් යැයිද සඳහන් කළේය.