කොටදෙනියාවේ දැරියගේ ඝාතනයට සැකපිට පොලිසිය තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කළ බවත්, එසේ නම් පාසල් සිසුවාට ඊට සම්බන්ධ ද නැද්ද යන්න ගැන පොලිසිය ප්‍රකාශයක් කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
මිය ගිය දැරියගේ ඝාතනයේ සැකකරුවන් සොයන මුවාවෙන් පොලිසිය නොමළ දරුවකු ද මළ දරුවකුගේ තත්ත්වයට පත් කිරීමට උත්සාහ කර තිබෙන බව ද, සිසුවා ගැන විවිධ තොරතුරු කියාපාමින් ඔහු ගැන වැරදි මතයක් සමාජයේ ඇති කිරීමට උත්සාහ කර ඇති බව ද, පොලිසියේ ක්‍රියාකලාපය හෙළා දකින බව ද ස්ටාලින් මහතා පවසයි.
මේ ගැන කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා කීවේ වෛද්‍ය වාර්තා ආ පසු ඔහු සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවයි. සිසුවා සැකපිට ගැනීමට හේතුව කුමක්දැයි ඇසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය දර්ශන තිබූ බවයි. අසභ්‍ය දර්ශන ලැප්ටොප් පරිගණකයේ තිබීම හා කොටදෙනියාව දැරියගේ ඝාතනය අතර සම්බන්ධය කුමක්දැයි ඇසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ සැකයක් මතු වූ විට අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට තබෙන බවයි.

