(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වභාවික තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගමකට පැවරීමට රජය ක‍්‍රියා කිරීම තුළින් රුපියල් බිලියන 40 ක පාඩුවක් සිදුවන බවත් , තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වුවහොත් එය රුපියල් බිලියන 80 දක්වා වැඩිවිය හැකි බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.
එබැවින් මෙම ටෙන්ඩරය අවම ලංසුවකට චීන සමාගමකට ලබාදුනහොත් මහජනතාවට විශාල අගතියක් සිදු වන්නේ යැයිද ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා එසේ කියා සිටියේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් ගොනු කරන ලද පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
ඊවා වනසුන්දර, ප‍්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූණි.
එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම ටෙන්ඩරයේ අදාල සියලූ නිර්දේෂයන් සිදුකරන්නේ තාක්ෂණික කමිටුව මගින් බවයි. අවසාන නියෝගය ක‍්‍රියාත්මක සිදුකරන්නේ මහජන උපයෝගිතා මණ්ඩලය බව ද ඔහු කීවේය.
මේ අනුව පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම ලබන 17 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු 82කු නම් කර තිබේ.