(මුදිතා දයානන්ද)
‘කෘෂිකර්ම අමාත්‍යංශයට හොඳම තැන කලින් අමාත්‍යංශය තිබු ගොඩනැගිල්ලයි. ඒ ස්ථානයටම නැවත අමත්‍යාංශය ගෙන යාමට උපරිම උත්සාහ කරනවා‘ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (03) පැවසීය.
අමරවීර මහතා එසේ පැවසූයේ නව කෘෂිකර්ම ඇමතිවරයා ලෙස සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එම ප‍්‍රශ්නයෙන් ඉදිරිපත් වුයේ කෘෂිකර්ම අමාත්‍යංශය දැනට පවත්වාගෙන ගොඩනැගිල්ලට අදාල ගිවිසුම්ගත කාලය අදින් (03) අවසන් වන බැවින් එහි කාලය දීර්ඝ කරගන්නවාද නැත්නම් හිටපු තැනට ආපසු යනවාද යන්නය. එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසීය.
ගිවිසුම් කාලය අවසන් විම ගැන මට කියන්න බැහැ. මොකද තවම මට ඒවා ගැන සොයන්න වෙලාවක් ලැබුණේ නැහැ. කොහොමත් මට සැප ගොඩනැගිලි අවශ්‍ය කරන්නේ නැහැ. මට නෙවෙයි දුමින්ද ඇමතිතුමාටත් එහෙම ඕන කළේ නැහැ.
කථානායකතුමාගේ ඉල්ලීමක් අනුව ආංශික කාරක සභා සඳහා තමයි කලින් තිබූ තැන දීලා මෙතනට එන්න සිදුවුණේ. එහෙත් ඒ කාරක සභා සඳහාත් එම ගොඩනැගිල්ල එතරම්ම අවශ්‍ය නැති බවයි මට දැනෙන්නේ. මම උපරිම උත්සාහ කරනවා මේ අමාත්‍යංශ්‍ය නැවත එතනටම ගෙනයන්න.
ඡායාරූප - චතුර එස් කොඩිකාර