‘කුෂ්‘ සමඟ විදේශිකයා ගුවන්තොටේදී අල්ලයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත" ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද(05) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු ඉන්දියාවේ නවදිල්ලි නුවර සපත්තු වෙළෙද සැළක අලෙවි සේවකයෙකු ලෙස කටයුතු කරන 43 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි .

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ පැකැට් 19 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

මෙම වැටලීම පසුගියදා කටුනායක ගුවන් තොටුපොළ රේගු පැමිණීමේ පර්යන්තයේ " හරිත මාවත '' තුළ ස්ථාපිත කළ පරිලෝකන යන්ත්‍රය ( Scan Machine ) උපයෝගී කර ගෙන රේගු නිලධාරීවරුන් විසින් සිදු කළ පළමු අත් අඩංගුවට ගැනීම වේ .

 මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සහ මෙම ඉන්දීය ජාතිකයා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දීමට නියමිතය .