(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර කුණු කසල ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් අනිද්දා සිට මාතර නගරයේ පාසල් තාවකාලිකව වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට තමා අවසර දෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද (08) මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පැවසීය.
මෙම කුණු ප්‍රශ්නය හේතුවන් රුහුණ විශ්වවිද්‍යාලය සහ පාසල් ගණනාවක දරුවන් පීඩාවට පත්ව ඇති බවට තමා වෙත පැමිණිලි ලැබී ඇති බවද ඔහු කීය.
දරුවන්ගේ ජීවිත වටිනා බැවින් එම තීරණය ගන්නා බවද කීවේය.
උද්ගතව ඇති තත්වය හමුවේ අනිද්දා මාතර මහජන පොළ වසා දමන ලෙසද ආණ්ඩුකාරවරයා මාතර මහ නගර සභාවට නියෝග කළේය.
කුණු ප්‍රශ්නය තවදුරටත් උත්සන්න වුවහොත් මාතර නගරය ජීවත් වීමට නුසුදුසු තත්වයට පත් වන බවද ඊට වග කිව යුත්තන් ඉතා කඩිනමින් විසඳුමක් සපයා දිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.
කොටවිල කසල ප්‍රතිචක්‍රීකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා තමා විසඳුමක් ලබා දී තිබියදී මෙම තත්වය ඇති වී තිබෙන බවද තෙන්නකෝන් මහතා කියා සිටියේය.
මාතර කොටවිල කසල අංගනය හේතුවෙන් තමන් පීඩාවට පත් වන බවට ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ පැමිණිලි මහජන පීඩා යටතේ කොටවිල පොලිසිය මාතර අධිකරණයට කරුණු වාර්තා කර මාතර මහ නගර සභාවට එරෙහිව නඩුවක් පවරා තිබුණේ මීට වසර එක හමාරකට පමණ පෙරදීය.
එම නඩුවේ තීන්දුව ඉකුත් 27 වැනි දින ප්‍රකාශ කළ අතර මාස තුනක කාලයක් එම අංගනයට කසළ බැහැර කිරීම වළක්වමින් හා කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට සුදුසු වාර්තාවක් සකසා ඉදිරිපත් කරන ලෙස ඉන් නියෝග කර තිබුණි.
ඒ අනුව කසළ බැහැර කිරීම සඳහා විකල්ප ස්ථානයක් නොමැති කම නිසා මාතර මහ නගර සභාව ඉකුත් 04 වැනිදා සිට කසළ ඉවත් කිරීම නවතා දමා තිබේ.




