කතරගම දෙවියන් වැසි දිනයක වල්ලි අම්මා හමුවූ බව කියන සියඹලා ගස පිහිටි සියඹලාව දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලය කුඹුක්කන් ඔයෙන් ගොඩ වී දුෂ්කර ගමණකින් පසු ළඟා විය යුතු පුදබිමක් බව බොහෝ දෙනෙක් කියති.
මස්, මාළු මත්පැන් ආදියෙන් වෙන් වී ගමනට අඩු ගනනේ දින 21ක්වත් පේවිය යුතු බව වැඩිහිටියෝ කියති.
එම උපදෙස් නොපිලිපදින අයට ගමනේ දී අතුරු ආන්තරා ඇති වන බවත් විශේෂයෙන් කැබිලිත්තේ වල් අලි රංචුව එවැනි පුද්ගලයන්ට කාරුණික නොවන බවත් කියති.
එහෙත් වත්පිළිවෙත් පුරන අයට එම සතුන්ගෙන් කිසිම හිරිහැරයක් නොවන බවත් ඔවුහු පවසති.
කතරගම සිට කැබිලිත්තට මාර්ග දෙකකින් යා හැකිය. යාල දෙවැනි කලාපය කුඹුක්කන් ඔය ඔස්සේ කිලෝමීටර 52ක දුරින් කැබිලිත්ත පිහිටියේය. මොණරාගල ඇතිමලේ මාර්ගයේ කොටිගල ඔස්සේ දුර කිලෝමීටර 75කි. දැනට වැඩි දෙනා යන්නේ එම මාර්ගයෙනි. කතරගම ගල්ගේ මාර්ගය වසා ඇත.
ඉපැරණි සියඹලා ගසක්, බෝධියක් හා ඓතිහාසික නටබුන් ඇතැයි එහි යන එන්නෝ කියති.
කාන්තාවනට කැබිලිත්ත අකැප බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.







