(ටෝනි කරුණනායක)
සුරාබදු නිලධාරීන් නොමැතිව පොලිස් නිලධාරීන්ට නීතිවිරෝධි කසිප්පු පෙරිම සහ විකිණිම සම්බන්ධයෙන් වැටලීම් සිදු කළ හැකි බවත් එම සැකකරුවන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරා එම නඩුව පවත්වාගෙන යාමට පොලිස් නිලධාරීන්ට බලය ඇති බවට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (04) වැනිදා තීන්දු කළේය.
ගම්පහ පොලිසිය මගින් කසිප්පු මිලිලීටර් 1500 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නඩුව සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ චානක කපුරු බණ්ඩාර මහතා කසිප්පු විකිණිම සම්බන්ධයෙන් පොලිසියට අධිකරණයේ නඩු පැවරිය නොහැකි බවට මූලික විරෝධතා ගොනුකර තිබුණි.
2017 වර්ෂයේ නොවැම්බර් මස 20 වැනි දින බදුවතුගොඩදී නිශාන්ත ප්‍රදිප් ආටිගල නැමැත්තාව කසිප්පු මිලිලීටර් 1500ක් සමඟ ගම්පහ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන 2017 නොවැම්බර් මස 21 වැනි දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 29 වැනිදා දක්වා රිමාන්ඩ්බාරයට පත් කර ඇති බවට අධිකරණයේදී සඳහන් විය.
2017 නොවැම්බර් මස 29 වැනිදා නඩුව නැවත කැඳවු අවස්ථාවේ සැකකරු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති හෙයින් රුපියල් 5000 ක මුදල් සහ ලක්ෂයක ශරීර ඇප මත සැකකරුවා මුදා හැර 2018 වර්ෂයේ අප්‍රේල් 25 වැනි දින නඩුව විභාගයට ගෙන තිබුණි.
නඩු විභාගය ආරම්භයෙදී නීතිඥ චානක කපුරු බණ්ඩාර මහති කසිප්පු සම්බන්ධයෙන් පොලිසියට නඩු පැවරිය නොහැකි බවට මූලික විරෝධතා ගොනු කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පොලිසිය වෙනුවෙන් පෙනී සිටිමින් ඉකුත් මැයි 23 වැනිදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විරෝධතා වෙනුවෙන් කරණු ඉදිරිපත් කරනු ලැබීය.
සංශෝධිත සුරාබදු ආඥා පනතේ ඇති වගන්ති අනුව සුරාබදු නිලධාරීන්ට සම බලතල සෑම පොලිස් නිලධාරියෙකුටම හිමි වනු ඇත.