‘ඖෂධ පාලක සභාපති විශ්වාස නෑ‘


රාජ්‍ය නිලධරයකුවූ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති එජාප මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් මැතිවරණ සටනට සහාය වීම පිළිබඳව තමන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය කමිටු සභාපති ඩිලාන් පෙරේරා මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔහුට කුඩු ජාවාරම්කරුවන්ගෙන් මරණීය තර්ජන ඇතැයි පැමිණිලි කරන්නේද හෙළි කරන්නේද සිරිකෝතේදී යැයි පැවසූ ඩිලාන් පෙරේරා මහතා එසේ හෙයින් ඔහුගේ හෙළි කිරීම්ද පක්ෂග්‍රාහී වීමට බැරි නැතැයි ද ඒවා විශ්වාස කළ නොහැකි යැයිද පැවසීය.

සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත හා හිටපු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුද ඊට එක්ව සිටි අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හෝ නෙළුම් පොකුණ රඟහල ලබාගැනීමට උත්සාහ කළත් ඒවායේ පාලනාධිකාරීන් එය ප්‍රතික්ෂේප කළ බවයි.

මේ හේතුවෙන් හෙන්රි පේද්‍රිස් පිටිය ලබාගත් බවත් එහි සංවිධාන කටයුතු කරද්දී විදුලිය කපා තිබූ බවත් ප්‍රේමජයන්ත මහතා කීවේය. කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් බවත් තරුණ පෙළට ආකර්ශනීය කරුණු රැසක් එහි අඩංගු වනු ඇති බවත් මහලේකම්වරයා පැවසීය.

IMG_51850 IMG_5153 IMG_5164 IMG_5191 IMG_5193