‘ඒකාබද්ධයේ විරෝධතාවය ආණ්ඩුව ගෙදර යවන තුරු ගෙනයනවා’


නාලක සංජීව දහනායක සහ හසිත රංග ගුණතිලක
 
 
ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය ආණ්ඩුව ගෙදර   යවන තුරු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (5) පැවැසීය. 
 
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ‘ජන බලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරයට සහභාගී වෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹදී ඒ බව සඳහන් කළේය.  
 
“ජනතාවට අහිමිකර ඇති ප්‍රජාතන්ත්‍රවාදී බලය මෙම සත්‍යග්‍රහය හරහා යළි ඉදිරියට ගෙන ඒමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපි අරගලයක් ආරම්භ කර තිබෙනවා. මේ අරගලය එහි පළමු පියවරයි. ප්‍රජාතන්ත්‍රවිරෝධී මේ ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අද කොළඹට එක්වී සිටිනවා. මේ ආණ්ඩුව ගෙදර යවනතුරු අපි මේ විරෝධතා ව්‍යාපාරයට ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා”. 
 
මෙහිදි ජනතාව අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීය. 
 
“කොළඹට පැමිණි මේ ජනතාවගේ ජනමතයට ආණ්ඩුව හිස නැමුවේ නැතිනම් ඉදිරියේදී ජනතාව මීටත් වඩා දරුණු පියවර ගනීවි. අපි මේ විරෝධතාව සාමකාමීව කරනවා. මෙම විරෝධතාවට එරෙහිව අවම බලය භාවිත කරන බව පොලිස්පතිවරයා මාධ්‍යයට කියා තිබුණා. හැබැයි පොලිස්පතිවරයාගේ අවම බලයට වඩා ජනතාවගේ උපරිම බලය වැඩියි.  
 
මේ විරෝධතා කඩා කප්පල් කරන්න ආණ්ඩුව උපරිම පියවර ගත්තා. පෞද්ගලික බස් රථවලට බලපත්‍ර ලබාදීම නතර කළා. ඒත් ආණ්ඩුවේ නියෝගයට අවනත නොවී පෞද්ගලික බස් රථ අපිත් සමඟ එකතු වුණා. අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. අපි අද කොළඹ නොනිදන නගරයක් බවට පත් කරනවා. අපි නිදි වර්ජිතව කොළඹ රැය පහන් කරනවා. ජනතාව අපිත් සමඟ ඉන්නවා. කොළඹ රැය පහන් කිරීමට ජනතාව සූදානමින් ඉන්නවා. අප ජනතාව සමඟ සිටිනවා”. 
 
මෙහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කීය.
 
“ කොළඹට පැමිණ සිටින මේ විශාල ජනතාවගෙන් ආණ්ඩුවට තිබෙන විරෝධය පෙන්නුම් කරනවා. ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ඒ අයගේ ගෙදර අයයි හැරුණාම අනිත් ඔක්කොම දෙනා අද අපිත් එක්ක ඉන්නවා. අන් සියලුම දෙනා කොළඹට ඇවිත් ඉන්නවා. දැන් මේ ආණ්ඩුව කල් ඉකුත් වෙච්ච ආණ්ඩුවක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ රට නැවත සංවර්ධනය කරා ගෙන යන්න මේ ජනතාව සූදානම්. ඒක නිසා ඉතාම ඉක්මනින් ජාතික මැතිවරණයක් කැඳවා මේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා”.
 
මෙහිදි අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ කීය.
 

“බලාපොරොත්තු වුණාටවත් වැඩි ජනතාවක් අද කොළඹට ඇවිත් ඉන්නවා. මේ වගේම විශාල ජනතාවක් කොළඹට එමින් සිටින බවට අපිට තොරතුරු ලැබෙමින් තිබෙනවා. මේ විශාල ජනකාය දක්වන ප්‍රතිචාර අනුව අපි මීළඟ සැලසුම් සකස් කරනවා”. 
 
මෙහිදි ජනතාව ඇමතූ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අලහප්පෙරුම මහතා මෙසේ කීය. 
 
“කොළඹට ගැලූ මෙම මහජන ගංඟාව ඉතිහාසයේ උද්ඝෝෂණයකට මෙන්ම අරගලයකට කොළඹට ගැලූ විශාලම ජන ගංගාව ලෙස ඉතිහාස ගත වෙනවා. මේ වනවිට කොළඹ තියෙන්නේ මහ ජනතාවගේ අත්අඩංගුවේ. කොළඹින් පිටට යන්න ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පොලිස්පතිවරයාටත් අපේ අවසරය මේ මොහොතේ අත්‍යවශ්‍යයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවට විරුද්ධව මේ ජනපවුර රැස්ව සිටින්නේ යහපාලන ආණ්ඩුව පලවා හැරීමටයි. 
 
පෙබරවාරි 10 වැනිදා පණිවුඩය කියවාගන්න ආණ්ඩුව අසමත් වුණා නම් මෙම සත්‍යග්‍රහය ආණ්ඩුවිරෝධී ජන මතය උරගා බලන්න හොඳම අවස්ථාවයි. මෙම සාමකාමී සත්‍යග්‍රහයත් සාමකාමී සත්‍යක්‍රියාවත් නිහඬ විරෝධයත් ප්‍රජාතන්ත්‍රවාදී සෑම මූලධර්මයක්ම අනුගමනය කරන සත්‍ය ක්‍රියාවක් වනවා. ආණ්ඩුවේ නොයෙක බාධක මැද කොළඹට මෙම ජනතාව රැස්වුණේ ආණ්ඩුවට විරෝධය පෑමටයි. ජනතාවගේ මූලික වුවමනාව තේරුම් ගෙන ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි. 
 
මෙහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ ද කීය.
 
“ජනතාව සමඟ ඉටි පන්දම් පත්තු කරමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් අද දවසේ ජනතාවත් සමඟ අපි රාත්‍රිය ගත කරනවා. මේ ඇවිල්ලා ඉන්න ජනතාව ඇස්තමේන්තු කරන්න අමාරුයි. ඒ තරම් විශාල ජනතාක් අද කොළඹට රැස්ව සිටිනවා. හැතැප්ම ගණනක් දුර ඉඳන් ජනතාව ඇවිත් ඉන්නවා. ජනතාව පීඩාවට පත්වී සිටියත් ආණ්ඩුවට විරෝධය පෑමට ජනතාව අපත් සමඟ එක්වී සිටිනවා. කළමනාකරණය කරන්න බැරි තරම් ජනතාවක් රැස්ව සිටිනවා. කොතරම් පීඩාවට පත්ව සිටියත් ජනතාව අපත් සමඟ මේ ආණ්ඩුව පලවා හරින තුරු රැඳි සිටිනවා”.