‘එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙමමනේ හොඳා‘


බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලන නියෝජ්‍ය අමාත්‍ය ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් ගිය ඉරිදා පත්වීම බාරගෙන දිවුරුම්ද දුන් තිස්ස කරල්ලියද්ද හිටපු ඇමැති පවසනුයේ එම ධුරය අත්හරින බවයි.

රජය හදිසියේ පිරිනැමූ මෙම නියෝජ්‍ය ඇමැති ධූරය තමා බාර නොගන්නා බවත් ඊට හේතුව තම පාක්ෂිකයන් ඊට විරෝධය, අප්‍රසාදය හා අකමැත්ත පළ කිරීම බවත් එහු කියයි.

‘අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ඇමැතිකම් සඳහා අප පත් කර තිබුණා. එදා මම ඇඳගෙන සිටියේත් සරමයි කමිසයයි. ඇමැතිකමක් බාරගන්න යනවා නම් ජාතික ඇඳුම ඇඳගෙන යනවා. මධ්‍යම කාරක සභාවේ විසි දෙනාගෙන් 17 දෙනකුම මට කීවේ මේ ඇමැතිකම ගන්න කියලයි. මැදවච්චිය ආසනයේ ගම් 70කින් මම මේ ගැන ඇහුවා. ඔවුන් ඊට විරුද්ධයි.‘

‘ඇමැතිකම් ගන්නවානම් ඡන්දෙ ඉල්ලන්න ගමට එන්න එපා යැයි ඔවුන් කීවා. ඇතැමකු කියන්නේ මම එක්සත් ජාතික පක්ෂයට ගිය බවයි. මම ජනතාවගේ කැමැත්තට හිස නමනවා. කරු ජයසූරිය බුද්ධ ශාසන ඇමැතිත් හොඳ පුද්ගලයෙක්. ජනාධිපතිතුමාත් හොඳ කෙනෙක්. ඔහු යන්නේ ඉතා කටුක ගමනක්‘

web