‘එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය බොරුවක්‘ - වාසු


උපක‍්‍රමශීලී ලෙස ජනමනසට ඇතුළු වීමට උපක‍්‍රම භාවිතා කරමින් එක්සත් ජාතික පෙරමුණේ  මැතිවරණ ප‍්‍රකාශය ඉදිරිපත් කර ඇතත් එහි අභ්‍යන්තරයේ කිසිදු හරයක් හෝ ජනමනසට සමීප වීමට හැකි දෙයක් නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

 අවුරුදු පහක වැඩපිළිවෙල මාස 60ක වැඩපිළිවෙල ලෙස දැක්වීමෙන්ම ජනතාව රැුවටීමේ අරමුණක් ඔවුන් තුළ ඇති බව කී වාසුදේව නානායක්කාර මහතා වත්මන් රජයේ මෙවැනි දේ වලට පිළිතුරු ජනතාව විසින් ලබන 17 වැනිදා මැතිවරණයේ දී ලබාදෙනු ඇතැයි ද සදහන් කළේය.

 එක්සත් ජාතික පක්‍ෂය රටට දෙන පොරොන්දු මැනිය යුත්තේ ඔවුන්ගේ ඉතිහාසය ගැන ද සිතා බලා යැයි කී නානායක්කාර මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා යනු කවුරුන්දැයි රටම දන්නා නිසා ඔහුට මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ක‍්‍රියාවට නැංවීමේ වරමක් ජනතාව ලබානොදෙන බව ද කියා සිටියේය.

 නානායක්කාර මහතා මේ බව පැවසුවේ කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (24)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහාචාර්ය රජීව විජේසිංහ යන මහත්වරුන් සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී සමන්මලී සකලසූරිය මෙනෙවිය ද මෙහි දී අදහස් දැක්වූහ.

DSC_0045 DSC_0070