‘උතුරේ ජනතාව බෙදුම්වාදය වෙනුවට සංවර්ධනය තෝරාගෙන තියෙනවා’


(විනීතා එම් ගමගේ)

 

විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ අන්තවාදය ප්‍රතික්ෂේප කර ඇති උතුරේ ජනතාව බෙදුම්වාදය වෙනුවට සංවර්ධනය තෝරාගෙන ඇතැයි එහි ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනී යන බව පිවිතුරු හෙළ උරුමය නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

එසේ තිබියදී භයානක ප්‍රකාශ කරමින් බොරු වැළක් කියමින් විග්නේෂ්වරන් මහතා යළි දෙමළ ජනතාව දිනාගන්නට සැරසෙතැයි ද එසේ වුවත් ජනතාව ඒවා පිළිගන්නට සූදානමක් නැතැයි ද ගම්මන්පිල මහතා කීය.

ඔහුගේ ප්‍රකාශවලට විරෝධය පෑමෙන් ඒවා බොරු බව ඔප්පු වන්නේ නැතැයි ද එසේ ඔප්පු කිරීම සඳහා තමන් සමඟ විවාදයකට පැමිණෙන්නැයි විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාට අභියෝග කරන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

නව පාර්ලිමේන්තුව විවෘත කරන දවසේ විග්නේෂ්වරන් කී බොරු අතරින් වඩාත්ම භයානක බොරුව වන්නේ ලංකාවේ මුල් පදිංචි කරුවන් දෙමළ ජනතාව යැයි කීම බවත් එය කිසිදු පුරා විද්‍යාත්මක හෝ ඉතිහාසගත සාක්ෂියක් නොමැති බවත් කී ගම්මන්පිල මහතා ලාංකික දෙමළ ජනතාව ගැන කියැවෙන පළමු ලිඛිත සාක්ෂිය වන්නේ ලන්දේසි යුගයේ රචිත යාල්පානම් වෛපමාලෙයි නමැති කෘතිය යැයි ද කීය.

ලොව පැරණිතම සජීවී භාෂාව දෙමළ යැයි ඔහු කියන නමුත් දෙමළ භාෂාව බිහිවූයේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ වන අතර චීන අරාබි ග්‍රීක හා බාස්ක් වැනි භාෂා ඊට බොහෝ පැරණි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපති යටතේ තබා ගැනීමට නොහැකි යැයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කී කථාව මුසාවක් බවයි. ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමැති වෙන්නට නොහැකි යැයි එම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ කොතැනක දැයි තමන්ට පෙන්වන මෙන් ද ගම්මන්පිල මහතා ඉල්ලා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) වගන්තිය අනුව ආරක්ෂාව ඇතුළු ජනතාව විධායක බලය ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ වගන්තිය අනුව ආරක්ෂක ඇමැති ධූරය වෙනත් ඇමැතිවරයකුට පවරන්නේ නැතිව ජනාධිපතිම රඳවා ගත යුතු බවත් සඳහන් 2003 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවතින්නේ යැයි ද ඔහු කියා සිටියේය.

එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ හතරවන වගන්තිය වෙනස් කර නැතැයි ද එය වෙනස් නොකර ආරක්ෂක අමාත්‍යංශ්‍ය වෙනත් ඇමැතිවරයකුට පැවරිය නොහැකි යැයි ද කී අමාත්‍යවරයා එකී වගන්තිය සංශෝධනය කරන්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකගේ අනුමැතියට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇතැයි ද පෙන්වා දුන්නේය.

ඒ අනුව බලද්දී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියන පරිදි 19 වන සංශෝධනය නිසා ජනාධිපතිට ආරක්ෂක ඇමැති ධූරය දැරිය නොහැකි නම් එම සංශෝධනය අහෝසි කිරීමට එයම ප්‍රමාණවත් වන්නේ යැයි ද පැවැසීය.

කෙසේ වෙතත් 19 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි පක්ෂ හා පුද්ගලයන්ට මෙවර මහ මැතිවරනණයේ දී ජනතාව අත් කළ ඉරණම සියලු දෙනාට පෙනී යන්නේ යැයි ද කීය. 

19 වන සශෝධනය අහෝසි කරන්නේ කවදාදැයි එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා කියා සිටියේ මෙවර මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලය ඉල්ලා සිටියේ ඒ සඳහාම බවයි.

19 වන සංශෝධනයේ ඇති සාධනීය ලක්ෂණ රැකගෙන එය සංශෝධනය කරන බවත් පසුව එය අහෝසි වන පරිදි නවතම ව්‍යවස්ථාවක් ගෙන ඒම දිගුකාලීන  පියවරක් සේ සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

කෙටියෙන් කිවහොත් ඇඳුමට දමා ඇති 19 වන අණ්ඩය ගලවා 20 වැන්න දමා කමිසය අඳින ගමන් අලුත් කමිසයක් ගෙන ඒම නව රජයේ බලාපොරොත්තුව යැයි ද ගම්මන්පිල මහතා කීය.

එහිදී විපක්ෂයේ අදහස් ද ගෙන සම්මුතියෙන් තීරණයක් ගත හැකි නම් හොඳ බවත් එසේ නොමැතිව සම්මත කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ද බහුතරය තමන් සතු බවත් කී අමාත්‍යවරයා ඒ සමගම 2019 මැයි 7 වැනිදා තමන් ජනතාවට පොරොන්දු වූ පරිදි රිෂාඞ් බදුර්දීන් සිටින ආණ්ඩුවක තමන් නොරැඳෙන බවත් ඒ බව තමන් සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ලිඛිතව සඳහන් කර ඇති බවත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.  

ඡායාරූප - ළහිරු හර්ෂණ