කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයකු වන ජනක බණ්ඩාර ඒකනායක හා රුහුණු විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍යයකු වූ සිසිත ප්‍රියංකරගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අදත් විරෝධතාවක් කළහ.
2012 සැප්තැම්බර 27 වැනි දා ගම්පහ ඉඹුල්ගොඩ දී යතුරු පැදිය විදුලි කණුවක හැපී මේ අනතුර සිදු වූ බව එකල කියැවිණි.
ඔවුන්ගේ මරණය සැක සහිත බවට පැමිණිලි ලැබීමත් සමඟ අනතුර ගැන ප්‍රතිනිරූපනයක් (රිකන්ස්ට්‍රක්ෂන්) කර රස පරීක්ෂණය පවත්වන්නැයි එවකට ගම්පහ මහේස්ත්‍රාත් (දැන් අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු) ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළත් අනතුරු වූ ස්ථානයට යතුරු පැදියවත් නොගෙනවිත් රස පරීක්ෂණය පැවැත්වූ බව පසුව අධිකරණයේ දී කියැවිණි.
මිය ගිය සිසුවකුගේ අතුරුදන් ජංගම දුරකතන අංකයක් ගැන වාර්තා කැඳවන ලෙස කළ නියෝගයට රජයේ දුරකතන සේවා සමාගමක් වාර්තාවක් ඉදිරිපත් කරමින් එම අංකයට ඇමතුම් ලැබී හෝ ඉන් ඇමතුම් ගෙන නැතැයි කීවේය.
අන්තරේ සිසුන් තම තමන්ගේ පෞද්ගලික අංක ගැන වෙන වෙනම විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණයට කීවේ නැතිවූ අංකයට ඇමතුම් ලබා ගත් බව තම විශ්ලේෂණ වාර්තාවල සඳහන් වන බවයි. අධිකරණයට බොරු වාර්තා දීම ගැන පරීක්ෂණයක් කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.
වසර තුනක් ගත වුවද තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි විශ්ව විද්‍යාල සිසුහු කියති.




