‘ඉන්ධන හිඟයක් ගැන අනවශ්‍ය බියක් එපා‘


(අජන්ත කුමාර අගලකඩ)
 
අවශ්‍ය තරම් ඉන්ධන තොග රට තුළ තිබෙන බැවින් ජනතාව ඉන්ධන හිඟයක් ගැන අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ඛණීජ තෙල් සංස්ථාවේ සභාපති නිතීඥ සුමිත් විජේසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
 
දිවයින පුරා සෑම ඉන්ධන පිරවුම්හලකටම අවශ්‍ය ඉන්ධන තොග බෙදා හැර ඇතැයි කී සභාපතිවරයා සෑම ඉන්ධන පිරවුම්හලකම නිතරම අවම ඉන්ධන තොගයක් පවත්වාගෙන යන ලෙසට ද උපදෙස් දී ඇතැයි ද කීවේය.
 
සංස්ථාව සතු ගබඩාවල දින 25කට අවශ්‍ය ඉන්ධන තොග පවතින බවත්, තවත් ඉන්ධන නැව් කිහිපයක්ම ඉදිරි දින කිහිපයේදී දිවයිනට පැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.
 
ඇදිරිනීතිය පනවා තිබුණද, අවම සේවක පිරිසක් ගෙන්වා තෙල් පිරිපහදු කිරීමේ හා බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව කරගෙන යන බවද නිතීඥ සුමිත් විජේසිංහ මහතා කීවේය.
 
තමා සපුගස්කන්ද තෙල් පිරිපහදුවටත්, කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයටත් අද (23) ගොස් එහි කටයුතු සොයා බැලී බවද හෙතෙම කීවේය.