‘ඉන්ධන හිඟයක් ඇතිවනවායැයි බොරු ප්‍රචාරයක් පතුරුවනවා‘


(යොහාන් භාසුර)

ආණ්ඩුවට තෙල් මිලදී ගැනීමට මුදල් නොමැතිවීම නිසා ඉදිරියේ ඉන්ධන හිඟයක් ඇතිවන බවට බොරු ප්‍රචාරයක් ක්‍රියාත්මක වන්නේ යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

තෙල් බෑමට පැමිණි නැවකට ගෙවීමට විදේශ මුදල් නොමැතිවීමෙන් එය හරවා යවා ඇති බවට බොරු ප්‍රචාරයක් ගෙන යන බවත් එහි දෙවැනි බොරුව මේ දිනවල ප්‍රචාරය වෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

නුදුරු දිනක තෙල් හිඟයක් ඇතිවීමෙන් සලාක ක්‍රමයකට තෙල් ලබාදීමට සැළසුම් කරමින් සිටින බැවින් වාහනවලට තෙල් පුරවා ගන්නා ලෙස බොරු ප්‍රචාරයක් ක්‍රියාත්මක වන බව කී අමාත්‍යවරයා බැරල් සහ කෑන්වලට හැකි උපරිමයෙන් තෙල් ගබඩාකර ගන්නා ලෙස ප්‍රචාරයක් සමාජ මාධ්‍යජාලාවල සංසරණය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම, තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී. යන ආයතන තුනේම දින 27 කට ප්‍රමාණවත් පෙට්‍රල් ද, දින 24 කට ප්‍රමාණවත් ඩීසල් ද ඇති බවත් රට සතුව තෙල් තිබියදී මෙවැනි කටකතා පතුරන්නේ ජනතාව සහ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ චේතනාවෙන් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.