‘ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ආර්ථිකය ගිනි අරන්‘- බන්දුල ගුණවර්ධන


(නාලක සංජීව දහනායක) 

අසාමාන්‍ය ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ලංකා ආර්ථිකය ගිනිගෙන දැවෙන්නට පටන් ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (13) පැවසීය.   

 මේ හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී ජලය, විදුලිය ආදියේ මිළ ඉහළ යෑමෙන් ජනතාව පීඩනයට පත්වන බවත් ආර්ථික විද්‍යාව ගැන නිවරදි දැක්මක් නැතිව ආණ්ඩුව වෛරී සහගතව තීන්දු තීරණ ගැනීමට යෑමෙන් මෙවැනි විනාශයන් සිදුවන බවද කීය.   

මන්ත‍්‍රීවරයා මෙසේද කීය.  

‘ ඉන්ධන ආනයනය සඳහා පසුගිය රජයට රුපියල් බිලියන පහක් වැය වුණා. නමුත් ලොක් වෙළෙඳපොල ඉන්ධන මිල පහත වැටීම නිසා ඉන්ධන ආනයනය සඳහා මෙම රජයට වියදම් වුණේ රුපියල් බිලියන 2.5යි. ඒ අනුව ඉන්ධන ආනයනය සඳහා පසුගිය රජයට වියදම් වූ මුදලින් බාගයක් රටතුළ ඉතුරුවෙලා තියෙනවා. ඒ මුදල නිවරදිව කළමණාකරනය කළානම් හම්බන්තොට වරාය විකිණීමට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට සිදුවෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව ගැන නිවරදි දැක්මක් නැතිව ආණ්ඩුව වෛරී සහගතව තීන්දු තීරණ ගැනීමට යෑම නිසා රටත් ආර්ථිකයත් විනාශවෙලා.‘