‘ඉදිරි අයවැයේදී ජනතාව මත පටවන බදු අඩුකරනවා‘ - ආශු මාරසිංහ


(අකිල බද්දෙවිතාන)

2018 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන ඉදිරි අයවැයේ දී මහජනතාව මත බදු පැටවීම අඩු කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ මුදල් කාරක සභාවේ සාමාජික මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා පැවසීය.

‘‘අයවැය පොරොන්දු - මැති සබයෙන් ඔබ්බට‘‘ මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී වෙරිටේ රිසර්ච් ආයතනය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාව හා www.budgetpromises.org වෙබ් අඩවිය හඳුන්වාදීමේ අවස්ථාවට අද(24) එක්වෙමින් ඒ මහතා එසේ ප්‍රකාශ කළේය.

රජයේ මුදල් කාරක සභාවේ නිරීක්ෂණ අනුව රාජ්‍ය ආයතනවල ප්‍රගතිය 50%ක් පමණක් බවත් පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල් පවා ඇතැම් අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන මේ වනතුරු සිය කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගැනීමට යොදවා නැති බවත් මාරසිංහ මහතා පෙන්වා දුන්නේය.

 

‘‘වත්මන් බදු පනත සංකීර්ණ නොවූ එකක්. රජයේ බදු ආදායම වැඩි කිරීමට සෘජු බදු වැඩි කළ යුතුයි. මහජනතාව මත පැටවෙන වක්‍ර බදු සීමා කළ යුතුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රාජකාරිය හරියට කරලා නෑ. 2017 අයවැය අනුව ඉලක්ක ගත අරමුණුවලින් 70%ක් තවමත් ඉතිරියි. ආයෝජකයන්ට හා අලුත් ව්‍යාපාරිකයන්ට සහන දෙන බදු ප්‍රතිපත්තියක් 2018 වසර සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සත්‍ය තොරතුරු දුන්නොත් බදු සහන වැඩිවෙයි.‘‘ යැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රාජ්‍ය ආයතනවලින් අයවැය සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ගත් උත්සාහයේ දී කෘෂිකර්ම අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය ඉතා අඩු සැලකිල්ලක් දැක්වූ බවත් එම ආයතන තොරතුරු පනත කෙරෙහිවත් තැකීමක් නොකළ බවත් වෙරිටේ රිසර්ච් ආයතනයේ නිලංගිකා ප්‍රනාන්දු මෙනවිය එහිදී ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම තොරතුරු පනතට අනුව අමාත්‍යංශ 37කින් තොරතුරු ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ අමාත්‍යංශ 15ක් පමණක් බවත් පසුව කළ අභියාචනයකින් පසු තවත් අමාත්‍යංශ 16ක් තොරතුරු ලබාදුන් බවත් ඇය කියා සිටියාය. කෙසේ නමුත්තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය, ධීවර හා ජලජ සම්පත්, කර්මාන්ත හා වාණිජ, නිවාස හා ඉදිකිරීම්, වාරිමාර්ග හා ජල සම්පත් සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති යන අමාත්‍යංශයන් ඉතා සාර්ථක ලෙස අදාළ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් ඇය පැවසුවාය. එම ආයතනවල වෙබ් අඩවි පවා කාර්යක්ෂමව අදාළ තොරතුරු නිවැරදිව යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම පිළිබඳව එම මාධ්‍ය හමුවට පැමිණි විද්වත්හු රැසක් ප්‍රශංසා කළහ.