‘ඉඩම් පනතේ වගන්තිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිලු‘


( තිළිණි ද  සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු හා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (04) විශේෂ පෙත්සම් දෙකක් ගොනු කර ඇත.

 මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල , සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත යන මහත්වරුන්ය.
 
පෙත්සම්හි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කරනු ලැබ ඇත.
 
පෙත්සම්කාර මන්ත‍්‍රීවරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් වලින් පෙන්වා දෙන්නේ ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජිත රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තුළින් බලපත‍්‍ර  හිමි ඉඩම්ලාභීන්ට ඒවායේ අයිතිය පවරා දීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
එම යෝජනා ප‍්‍රගතිශීලී ඒවා ලෙස බැලූ බැල්මට පෙනී ගිය ද ඇමරිකාව සමග ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා පිහිටුවීමට යෝජිත ආර්ථික තීරුව සඳහා ඉඩම් සම්පාදනය කර ගැනීමේ අරමුණෙන් රජය මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට සූදානම් වන බවට තොරතුරු දැන ගන්න ලැබී තිබෙන බවද පෙත්සම්කරුවෝ පෙන්වා දේ.
 
ඉඩම් විෂයට අදාළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිවයිනේ සියලූ පළාත් සභා වලින් ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව යටතේ සිදුකළ යුතු  අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද එසේ පළාත් සභාවලින් අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව ද පෙත්සම්කරුවන් කියා සිටිති.
 
ආණ්ඩුකම ව්‍යස්ථාවට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයකින් මූලික අයිතීන්ද උල්ලංඝනය වන බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන්නැයිද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.