‘ඇස් බැඳ තිබුණත් හොඳින් සැලකුවා‘


සිකුරාදා සිට දින තුනහමාරක් පමණ තම දෑස් බැඳ ආරක්ෂක ස්ථානයක වැනි තැනක රඳවා සිටි බවත්, කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියාවට යැවූ පසු තමා නිදහස් කරන බවත් තමා අත්අඩංගුවට ගත් පිරිස් පැවසීයැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාන්තා අංශ නායිකා දිමුතු ආටිගල මෙනවිය පැවසුවාය. මාදිවෙල පක්ෂ කාර්යාලයට ඇය අද උදේ පැමිණියාය. තලවතුගොඩ අතුරුපාරකදී තමා නිදහස් කළ පිරිස ඇයට කියා ඇත්තේ වාහනයේ අංකය හෝ තමන් කවුදැයි සොයා බැලීමට උත්සාහ නොකරන ලෙසයි. ‘ඔවුන් වාහනයකින් මා පාරට බැස්සුවා. එය වැලි පාරක්. වාහනය ගියාට පසුව ඇස් බැඳ තිබූ රෙදිකඩ ඉවත් කරන්න කීවා. ‘ ඇය සිය අත්දැකීම් විස්තර කළාය. ඇය පක්ෂ කාර්යාලයට පැමිණියේ පැහැරත් අය විසින් දෙන ලද මුදලිනි. තමා රඳවාගෙන සිටි නිවසේ අවි ගැටෙන හඬත් ‘සර්‘ යනුවෙන් ආමන්ත්‍රණය කරන හඩත් ඇහුනා. ජනතා විමුක්ති පෙරමුණේ දෙනේනෙකුත් එහි සිටියා වගෙයි යනුවෙන් ඇය කීවාය. ගුණරත්නම් හා තමා එකතැනකට ගෙනවුත් දිගින් දිගටම ප්‍රශ්න කළ බවද කොටි සංවිධානයට සම්බන්ධතා ඇත්ද යන්නද විමසූ බවත්, අලුත් පක්ෂය පිහිටුවීම ගැන ඉතා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ බවත් ඇය කීවාය. තමා ළග කාන්තාවක සිටි බවද, ආහාරපාන හොඳට සැපයූබවද කී ඇය තම සංවිධානයට මුදල් ලැබෙන ආකාරය ගැන විමසූ බවද ආටිගල මෙනවිය ප්‍රකාශ කළාය.