‘ඇමෙරිකානු හමුදාවට රටට එන්න - කඳවුරු බඳින්න දෙන්නේ නෑ’


(රංජන් කස්තුරි)

ඇමරිකානු හමුදාවන්ට රටතුළට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට හෝ ඉඩ නොතබන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

ඇමරිකාව සමඟ හෝ වෙනත් කිසිදූ රටක් සමඟ හෝ රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමට රජය කටයුතු නොකරන බවද රුවන් විජයවර්ධන මහතා කීය.

ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා එසේ කීවේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (04) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රුවන් විජයවර්ධන මහතාගේ එම විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

"ඒකාබද්ධ විපක්ෂයත් යම්කිසි පිරිසකුත් රජයට අලුත් චෝදනාවක් ඉදිරිපත් කරනවා.ආණ්ඩුව ඇමරිකාව සමඟ හොර ගිවිසුමකට එළඹී තිබෙන බවත් ඔවුන් කියනවා.

ආණ්ඩුව එවැනි හොර ගිවිසුමකට එළැඹී නැහැ.ඉදිරියේදී රටට අහිතකර ගිවිසුම්වලට එකඟවන්නෙත් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.

අපේ ආණ්ඩුව මේ වගේ ගිවිසුම් වලට අත්සන් කරන්න සූදානම් නැහැ.කිසිසේත් ඇමරිකානු හමුදාවට රටට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට ඉඩ තබන්නේ නැහැ.

ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවානම් එවැන්නක් කරන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්වරයා විසින් කෙසේ වෙතත් මා නැවත සඳහන් කරන්නේ එවැනි කිසිඳු ගිවිසුමකට අපි අත්සන් කරන්නේ නැහැ" ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා කීය.