රේඛා තරංගනී ෆොන්සේකා
වෘත්තීය සුදුසුකම් නැති සේවකයින් දේශපාලන මැදිහත්වීමෙන් දුම්රියට බඳවා ගැනීම නිසා වෘත්තීය සේවක පුරප්පාඩු 6000ක් පමණ ඇති වී අදාළ වෘත්තීය හිස්වෙලා සමහර සේවකයෝ කල් මරනවා වගකිව යුත්තෝ අවශ්‍ය දේ පැත්තක දාලා අනවශ්‍ය දේවල් වලට අවධානය දෙනවා යැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසීය.
උඩරට දුම්රිය මාර්ග නඩත්තුවට ඉන්නේ සේවකයෝ 20යි. එක එක කාලෙට පත් වුණු ඇමැතිවරුන්ගේ ලියුම් වලට වැඩට ගත්ත කාන්තාවන්ට දුම්රිය මාර්ග හදන්න බෑ යැයි ඔහු වැඩිදුරටත් කීවේය.
මෙසේ පැවසුවේ දුම්රියේ කඩා වැඩීමට දේශපාලන මැදිහත්වීම හා සේවක අවශ්‍යතා නොතකා හැරීම බලපෑ බවට ලංකාදීප වෙත අදහස් දැක්වීමට එක්වෙමිනි.
දුම්රිය සේවය ලාභ ලබන ආයතනයක් නොවුවද පාඩු නොලබන තැනට ගෙන ඒමට හැකි බවත් දේශපාලන ඉලක්කයක් දුම්රිය වෙනුවෙන් කිසිවෙකුට නොවු බවටත් සඳහන් කළ ඒ මහතා කැන්වසින් යාම දේශපාලකයකුගේ සහයකයකු ලෙස මැතිවරණයට උරදීම දුම්රිය සේවකයකු ලෙස පත්වීමට ඇති වෘත්තීය සුදුසු කමක් වු බවද පැවසීය.
පවතින රජයෙන්ද දින සියයේ වැඩපිළිවෙළ යටතේ සේවකයින් පන්සීයයක් බඳවා ගත් බවද ඒ මහතා පැවසීය.
ඩියුටි ස්ථානත් නැති ඩියුටිත් නැති සේවකයින් දුම්රිය සේවයට එක්ව සිටින බව පවසන ඒ මහතා කාන්තා බඳවා ගැනීම් දුම්රිය මාර්ග නඩත්තු අංශයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව සඳහන් කළේය.