‘ඇප කොන්දේසි අයිතිවාසිකම් කඩලා‘


උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහභාගී විය නොහැකි වන පරිදි සහ කිසිදු විශ්ව විද්‍යාලයකට ඇතුළු විය නොහැකි ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පනවා ඇති ඇප කොන්දේසි ඉවත් කරන ලෙස නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා අද කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළේය.

එම ඇප කොන්දේසි මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව කී නීතීඥ කුමාරප්පෙරුම මහතා මහාධිකරණයේ ගොනු කළ අභියාචන නඩුව අවසන් වන තෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සංජීව බණ්ඩාර සම්බන්ධ නඩු විභාගය අත්හිටුවන ලෙස ද ඉල්ලා සිටියේය.

සංජීව බණ්ඩාර වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සමේ නීතිපති වගඋත්තර කරුවකු ලෙස නම් කර නැති හෙයින් එය සංශෝධනය කර නැවත අඟහරුවාදා (21) ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු නියෝග කළේය.