‘ආවා’ කල්ලියේ ප්‍රබලයකු අත්අඩංගුවට


සිතුම් චතුරංග
            
යාපනය , මානිප්පායි හා කෝපායි පොලිස් බලප‍්‍රදේශ තුළ භීෂණය පතුරවමින් පුද්ගලයින්ට පහරදීම් හා දේපලවලට හානිකිරීම් සිදුකළ ‘ආවා’ කල්ලියේ ප‍්‍රබලයකු වන ‘ලංඩා’ නැමැත්තා ඉණුවිල් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මානිප්පායි පොලිසිය කියයි.


තියුණු ආයුධ අතැතිව ඉණුවිල් ප‍්‍රදේශයේ නිවස වලට ඇතුළුවී දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් හා මණිප්පායි ලෝටන් පාර හි නිවසක සිටි දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීම් පිළිබඳ මාණිප්පායි පොලිසිය වෙත ලැබුණ පැමිණිලිවලට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.


ඥානසිංහම් රාසනිලෝජන් (23) නොහොත් ලංඩා ආවා කල්ලියේ ප‍්‍රබලයකු ලෙස කටයුතු කළ අයකු බවත් ඔහුගේ උපදෙස් මත ආවා කල්ලියේ සාමාජිකයින් යාපනය දිස්ත‍්‍රික්කයේ සිදුවූ පුද්ගලයින් වෙත පහරදීම් හා දේපල හානි සිදුකිරීම් කර ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණයවූ බව ද පොලිසිය පැවසීය.


ආවා කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මෙහෙයුම් සිදුකරන අවස්ථාවලදී සැකකරු විවිධ ප‍්‍රදේශවල සැඟවී සිට ඇති අතර මෙහෙයුම් අවසන් වූ පසු යළි තියුණු ආයුධ රැගෙනවිත් පුද්ගලයින්ට හා දේපලවලට හානිකිරීම් සිදුකර ඇති බව ද කීය.


අත්අඩංගුවට ගත් සැකකරු යාපනය කොකුවිල් ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.