‘ආයතන අතර සම්බන්ධීකරණය මදි නිසා අවදානමක්‘


 (විනීතා එම් ගමගේ)
 
කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමට අවශ්‍ය නීති සම්පාදනය හා තීන්දු තීරණ ගැනීමේ දී අදාල ආයතන අතර සම්බන්ධීකරණයේ අඩුපාඩු හේතුවෙන් බරපතල අවදානම් තත්ත්වයන් මතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
 
 මාර්තු 10 වැනිදාට පෙර විදේශ රටවලින් මෙරටට ආ 6,032 දෙනෙක් මේ වනවිට නිවාස තුළ නිරෝධායනයට ලක්කර ඇතැයි ද විදේශ ගතවී පැමිණි අය වාර්තා කරන්නැයි පොලිසිය විසින් ඊයේ නිකුත් කරන ලද නිවේදනයක් අනුව මෙම නිරෝධායනයට ලක්කරමින් සිටින පුද්ගලයින් පවා පොලිසි ගොස් ඇතැයි වාර්තා වන බවත් සම්බන්ධීකරණයක් නොමැතිව රාජ්‍ය ආයතන කටයුතු කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙම සිද්ධිය පෙන්වා දිය හැකි බවත් හෙතෙම කියා සිටියේය.
 
මෙම 6,032 දෙනා අතරින් එක් පුද්ගලයෙක් කොරෝනා ආසාදිතයෙක් බවත් ඔහු මේ වනවිට උණරෝහලේ ප්‍රතිකාර ලබන බවත් උපුල් රෝහණ මහතා පැවැසීය.
 
රාජකාරි ක්‍රියාවලියේ දී තමන්ට ප්‍රශ්න ඇති බවත් විශේෂයෙන් වෙන් කර සිටින අවදානම් කණ්ඩායම් උපදෙස් පිළිනොපදිමින් තැන තැන ඇවිදින අතර ව්‍යාජ ප්‍රකාශ ද ලබාදෙතැයි හෙතෙම හෙළි කළේය.
 
ගුවන් තොටුපල හා ක්‍ෂෙත්‍ර කාර්යමණ්ඩල අතර තොරතුරු දත්ත හුවමාරු වීමේ අඩුපාඩු රැසක් ඇති බවත් එය නිලධාරින්ගේ වරදක් නොව ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සකසන්නන් අතින් සිදුවූ අඩුපාඩු බවත් ඔහු කියා සිටියේය.
 
 යම් තැනක රෝගියෙක් හමුවූ අවස්ථාවක ඔහු හෝ ඇය උණ රෝහලට ගෙන යාම දක්වා ක්‍රියාවලිය විධිමත් විය යුතු යැයි ද අත් අඩංගුවට පත් අයෙක් රෝගියෙකු හෝ නිරෝධායනය වියයුතු අයෙක් නම් රෝහලට ගෙන යායුතු ක්‍රමයක් සැකසිය යුතු යැයි ද  උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
 
මහජනතාව තුළ අනියත බියක් ගොඩනැගී ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා ත්‍රිවිධ හුමදාව යන ක්‍ෂෙත්‍ර රාජකාරිවල යෙදෙන ආයතන තුන එක්ව කටයුතු කළ යුතු නමුත් එසේ නොකිරීමෙන් ආසදිතයන් හා වෙන්කර තබා ගන්නා පුද්ගලයින් වෙත ප්‍රශ්න ඇතිවී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
ආසාදිතයින් හා වෙන්කර තබාගන්නා පුද්ගලයින් යනු දෙපිරිසක් බව වටහා නොගැනීමෙන් ජනතාව අතර අනියත බියක් ඇතිවී ඇතැයි ද සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන් අඳුරේ අත පත නොගා වහා අණපනත් හැදීමට හා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව ද ඔහු කියා සිටියේය.