‘ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර ගන්න සුදානම් නෑ’- සුසිල්


(විනීතා එම් ගමගේ)

වත්මන් ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර ගැනීමට සුදානම් නැති බවත් තම කණ්ඩායම ඉදිරියේ දී ජනතාවාදී ප‍්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ඒ ඔස්සේ ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවැසීය. 

මැයි අට වැනි දා යින් පසු අනෙක් පාර්ශවවල අදහස් ද ලබාගෙන ජනතාව වෙනුවෙන් වූ ප‍්‍රතිපත්ති මාලාව සකස් කරන බව ද හෙතෙම සඳහන් කළේය. 

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුව අසල දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසු ඇමැතිකම් වලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ඊළඟ පාර්ලිමේන්තු සැසියේ සිට විපක්ෂයේ අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (27) පෙරවරුවේ  කීවේය.

තමන් 16 දෙනාට විපක්ෂයේ අසුන් පනවන්නැයි එම 16 දෙනාගේම අස්සන් සහිත ලිපියක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබිණි.
එහිදී සුසිල් ප්‍රේ‍්‍රමජයන්ත මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය. 

‘‘අපට අවශ්‍ය වුණේ මුළු පක්ෂයේම අය ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයි කියන එක කියන්නයි. නමුත් ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව අපි ඒ සඳහා ඉඩකඩ ලබා දෙමින් හිටියා. අවසාන වශයෙන් මේ විශ්වාසභංග යෝජනාවේ චෝදනා 14 න් 13 ක්ම පදනම් වෙලා තියෙන්නේ බැඳුම්කර වංචාව මතයි. එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීමෙන් තමයි මේ විශ්වාසභංගය මතුපිටට ආවේ. එහි පදනම වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමතික තීරණය අනුව පත් කළ කමිටුව දුන්න වාර්තාව නිසා.  

ඒ නිසා ඒක පදනම් කරගෙන ගෙනෙන විශ්වාසභංග යෝජනාවකට විරුද්ධ වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසි කෙනෙකුට බැහැ. ඒ වගේම මේ රටේ ජනතාව දරණ  පොදු මතය මැතිවරණ වලින් පිළිබිඹු වෙනවා. තවත් විවිධ ආකාර වලිනුත් පිළිබිඹු වෙනවා.