
කොවිඩ්-19 වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 12 සහ ඊට වැඩි දරුවන් ද මුඛ ආවරණ පැළඳිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි.
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වැඩිහිටියන් මෙන්ම දරුවන් ද මුඛ ආවරණ පැලඳිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. වයස අවුරුදු හයත් 11ත් අතර දරුවන් මුඛ ආවරණ පලඳින්නේ ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ තිබෙන අවදානම අනුව යැයි ද එම සංවිධානය කියයි.
අන් අය සමඟ මීටරයක පරතරයක තබා ගැනීමට නොහැකි අවස්ථාවලදීත්, වයිරසය වේගයෙන් පැතිරෙමින් තිබෙන ප්‍රදේශවල සිටින විටදීත් අවුරුදු 12 හෝ ඊට වැඩි හෝ දරුවන් මුඛ ආවරණ පැලඳිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ද පෙන්වාදෙයි. එම උපදෙස්වලට අදාළ ලියකියවිලි අගෝස්තු 21 වැනිදා දාතම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ ද පළ කර ඇත.
වයස අවුරුදු හයත් 11ත් අතර දරුවන් මුඛ ආවරණ පැළඳිය යුතු ද නැද්ද කරුණු කිහිපයක් මත පදනම් වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි.
දරුවා වෙසෙන ප්‍රදේශයේ වයිරසය පැතිර යෑමේ වේගය, දරුවාට මුඛ ආවරණ පැලඳීමට තිබෙන හැකියාව, මුඛ ආවරණයක් ලබාගැනීමට ඇති හැකියාව සහ වැඩිහිටියකු ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නේ ද යන කරුණු මත වයස අවුරුදු හයත් 11ත් අතර දරුවන් මුඛ ආවරණ පැළඳිය යුතු ද නැද්ද තීරණය වන බව එම සංවිධාන දෙක පෙන්වාදෙයි.
ආරක්ෂාව සහ දරුවාගේ පැත්තෙන් බැලීමේදී වයස අවුරුදු පහ හෝ ඊට අඩු දරුවන් මුඛ ආවරණය පැලඳිය යුතු නැතැයි ද එම සංවිධානය සඳහන් කරයි.
අධ්‍යාපනයට සහ මානසික හා සමාජ සවර්ධනයට සිදුවිය හැකි බලපෑම් සහ වයිරසය ආසාදනය වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති පුද්ගලයන් සමඟ පවත්වන සබඳතා අනුව ද දරුවන්ට වයිරසය ආසාදනය වීමට බලපාන බව එම සසංවිධාන තවදුරටත් පෙන්වාදෙයි.
වයසින් අඩු දරුවන්ට වඩා වයසින් වැඩි දරුවන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇතැයි මෙතෙක් කරන ලද අධ්‍යයනවලින් පෙනීගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි.
වයිරසය පැතිර යෑමේදී හා ආසාදනය වීමේදී පොඩි දරුවන්ගේ සහ වැඩිවියට පත් දරුවන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමට තවදුරටත් දත්ත අවශ්‍ය යැයි ද එම සංවිධාන කියයි.
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පොදු ස්ථානවලදී මුඛ ආවරණ පලඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මුල්වරට ප්‍රකාශ කළේ ජූනි 5 වැනිදා ය.
ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (23) පස්වරු වනවිට මිලියන 23 ඉක්මවා ගොස් තිබූ අතර වයිරස ආසාදිත මරණ ගණන 800,000 ඉක්මවා ගොස් තිබිණි.
රොයිටර්
055

